News

ඛනිජ වැලි ආරක්ෂා කරන්න ගිය සංස්ථාවේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන්ගෙන් ගුටි

ලංකා ඛනිජ වැලි සංස්ථාවට අයත් පුල්මුඩේ කර්මාන්ත ශාලාව ආසන්නයේ ගොඩ ගසා ඇති ඛනිජ වැලි ආරක්ෂා කිරීමට ගිය එම සංස්ථාවේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන් පිරිසක් පහරදී තිබෙනවා.

පුල්මුඩේ ඛනිජවැලි කර්මාන්ත ශාලාව ආසන්නයේ ගොඩ ගසා ඇති ඛණිජ වැලි නීති විරෝධී අයුරින් ප්‍රදේශවාසින් රැගෙන යාම හේතුවෙන් ඒවාගේ ආරක්ෂාවට ගිය ඛනිජවැලි සංස්ථාවේ නිලධාරීන් පිරිසකට මෙම පහරදීම සිදු කර තිබුණේ පසුගිය 22 වැනි සිකුරාදා දිනයේදීයි.

එම ස්ථානයේ පවතින වටිනා වැලි බහුල වශයෙන් අවට ජනතාව රැගෙන යාම සිදු කෙරෙන බැවින් එම භූමිය වටකොට ආරක්ෂිත වැටක් සවි කිරීමේ කටයුතු සොයා බැලීමට සංස්ථාවේ සභාපතිනි නීතිඥ ඉන්දිකා රණතුංග මහත්මිය ඇතුළු කණ්ඩායමක් එහි නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගි වී තිබුණි.

එලෙස පැමිණි සභාපතිවරිය ඉදිරියේම ගම්මුන් පහරදුන් බව සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ටී.එම්.පී.කේ. මුණසිංහ මහතා පැවසුවා.

පහරදීමෙන් තුවාල ලැබූ නිලධාරියෙකු රෝහල්ගත කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් පුල්මුඩේ පොලීසියට පැමිණිලි කර තිබෙනවා.