News

Update – ක්‍රයිස්චර්ච් නුවර සිදුවූ වෙඩි තැබීමෙන් 49ක් මරුට තවත් 20කගේ තත්වය බරපතලයි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අල් නූර් හා ලින් වුඩ් මස්ජීඩ් නමැති මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගොස් ඇති බව එරට අග්‍රාමාත්‍යවරයා තහවුරු කර ඇත.

තවත් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර මෙලෙස මිය ගොස් ඇත්තේ සිකුරාදා දිනයේ පවත්වන විශේෂ දේව මෙහෙයට සහභාගී වීම සඳහා පැමිණ සිටි පිරිසක්ය.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී අල් නූර් දේවස්ථානයේ ආගමික වතාවත් සඳහා රැඳී සිට ඇත.

එම වෙඩි තැබීමෙන් තම කණ්ඩායමේ කිසිදු සාමාජිකයෙකුට බලපෑමක් නොවූ බවත් තම කණ්ඩායම එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් වූ බවත් බංග්ලාදේශ ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

ගිනිඅවි කිහිපයකින් සන්නද්ධව මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරු, ඉවක් බවක් නොමැතිව දේවස්ථානය තුළ සිටි සියලු දෙනා ඉලක්ක කර වෙඩි තබන අයුරු දැක්වෙන ඔහු විසින්ම පටිගත කළ විඩියෝ පටයක් මේ වන විට මාධ්‍යයට නිකුත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවක් ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ – නවසීලන්ත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අවලංගු කර තිබේ.