News

පාතාලය නිසා ජීවිතය අවිනිශ්චිතයි – ආරක්ෂාව ඉල්ලා මුජිබර් රහුමාන්ගෙන් කථානායකට ලිපියක්

පාතාලය සමග සබඳකම් ඇතැයි තමාට එල්ලවන චෝදනා සමග ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම්වලින් තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි ආරක්ෂාව ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කථානායකවරයා වෙත ලිපියක් බාරදී ඇත.

මේ සම්බන්ධව සොයා බලා අවශ්‍ය කටයුතු යොදන්නැයි කථානායක කරු ජයසූරිය පොලිස්පති පූජිත ජයසුන්දර වෙත එය යොමු කර තිබේ.

මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත් වූ කංජිපානි ඉම්රාන් සමග සබඳකම් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ට චෝදනා එල්ල වන්නට වූයේ කංජිපානිගේ ගෝලයකු වන රිස්කාන් නමැති ව්‍යාපාරිකයාට අයත් කුලී රථ සේවාවක් විවෘත කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ සමග ගිය ඡායාරූප අනාවරණය වීමත් සමගය.

කංජිපානි ඉම්රාන්ට අයත් යැයි කියා පොලිස් විශේෂ කාර්ය බළකායෙන් අත්අඩංගුවට ගත් ගොඩනැගිල්ල තමාට අයත් එකක් බව කියමින් දේශපාලනික වශයෙන් තමාට එරෙහිව සංවිධානාත්මක කණ්ඩායමක් සමාජ ජාලා ඔස්සේ මඩගසන්නට වූ බවත්, මේ හේතුවෙන් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලින් තමාට ජීවිත තර්ජන එල්ල වී ඇති බවත් පෙන්වා දෙමින් මෙම ලිපිය ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සතිඅග අරුණ කළ විමසුමකදී පැවසීය.

මේ ගැන කොළඹ අපරාධ කොට්ඨාසයටද පැමිණිලි කළ බව හෙතෙම සඳහන් කළේ ය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා