News

අනුරාධපුරට ලක්ෂ 5700ක පාලම් – අමාත්‍යවරයා මුල් ගල තබයි

අනුරාධපුර බටහිර ආසනයේ පාලම් 11ක් සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මුල්ගල තැබීම් සිදු කෙරිණ.

ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ නොච්චියාගම ඕලු වැව පාලම ඉදි කරනු ලබන අතර මේ සඳහා රුපියල් ලක්ෂ 450ක් වැය කරනු ලබයි. මෙමඟින් හල්මිල්ලකුලම, නොච්චියාගම, අමුණුකොලේ ඉහළ කෙටිතේක්කුව, ජයගම හා නුවරගම ගම්වාසීන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවයන්ට සෙත සැලසේ.

මේ අතර සාලියපුර, පානියන්කඩවල හා පූවසන්කුලම ගම්මාන වෙත ප්‍රවිෂ්ඨ වීම සඳහා ඉපැරණි රජ සමයෙහි ඉදි කර තිබු ගල් පාලම ආසන්නයේම නව පාලම ඉදි කරනු ලබන අතර මේ සඳහා ලක්ෂ 700ක් වැය කරනු ලබයි. මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන මොහොතට අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ද එක්ව සිටියහ.

ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ සාලියපුර පහළගම පාලම, අටේ කණුව මාර්ගය පාලම, අශෝකපුර තුනේ ඇළ පාලම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉදි කිරීම් ආරම්භ කෙරිණි.මේ අතර කුඹුරු අක්කර 100ක් වගා කරන බණ්ඩාරපුලියන්කුලම කෙත් යායට පිවිසෙන මාර්ගය ද, නිසල මාවත නව පාලම සඳහා ද අමාත්‍යවරයා මුල්ගල් තැබීය.