News

මෛත්‍රී – මහින්ද තීරණාත්මක හමුවක් එන සතියේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර තීරණාත්මක හමුවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් සිදු කළ සාකච්ඡාවල ප්‍රගතිය, සම්බන්ධයෙන් හා මහ මැතිවරණයක් පැවැත්වීමට ඇති කාලය අවසන් වන තෙක් යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනා ආදිය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර ගොඩනැගෙන සන්ධානය සම්බන්ධයෙන් අවසන් තීරණය ජූලි අවසන් වන තෙක් ප්‍රකාශ කළ නොහැකි බැවින් එතෙක් කල් ඉල්ලා ඇති බවද සඳහන්ය.

යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කඩාකප්පල් කිරීම සඳහා එසේ සන්ධානය ගොඩ නැගීමේ තීරණයට කල් ඉල්ලා ඇති බවට නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරති.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයාගේ සාකච්ඡාවෙන් පසු වැදගත් දේශපාලන තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවක්ද මෙම 23 වැනි දින හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

මීට අමතරව මෙම සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද රැස්වී තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිතව ඇත.