පොලිසියේ ඉල්ලීම ඉවතට -ජන බලය හෙට කොළඹට
ඒකාබද්ධ විපක්ෂය හෙට (5) දින කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාළිය ජනාධිපති මන්දිරය අවට රැඳී සිටීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන මෙන් කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රතික්ෂේප කළේය.
උද්ඝෝෂකයින් පිරිස හෙට (5) රාත්‍රීයේ සිට පසුව දා දක්වා ජනාධිපති නිල නිවස අසල රැදී සිටින බවට බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු අනුව මෙම ඉල්ලීම කළ බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලීසියට පෙන්වා දුන්නේ යම් පුද්ගලයෙකු ජනාධිපතිවරයා ගේ නිවස වැටලීමට සූදානම් වන්නේ නම් එය රාජ්‍ය විරෝධී කටයුත්තක් බවයි. එවැනි රාජ්‍ය විරෝධී ක්‍රියාවක නිරතවන පුද්ගලයින් අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එසේ නොකොට අධිකරණය හමුවට පැමිණ පොලීසිය මෙවැනි ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බව ද කියා සිටියේය.
කුරුදුවත්ත පොලිසිය, වග උත්තරකරුවන් ලෙස නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, දිලුම් අමුණූගම, විමල් වීරවංස, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, ඩි.යු.ගුණසේකර, තිස්ස විතාරණ, අසංග නවරත්න, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග යන අය නම්කර තිබිණි.