News

රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සමරුව අදයි

රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණසමරු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන කොළඹ අළුත්කඩේ උසාවිය අසල, ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ පිළිරුව අභියස දී පැවැත්වුණි.

ප්‍රථමයෙන් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන්ට පිරිකර පූජා කිරීම ජනාධිපති, අගමැති සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පවුලේ ඥාතීන් විසින් සිදු කෙරුණි.

රණසිංහ ප්‍රේමදාස මහතා සිහිපත් කරමින් සහ පසුගියදා රට තුළ සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියාකලාපයන් හේතුවෙන් මියගිය සියලුම ජනකොටස් සිහිපත් කරමින් විනාඩියක නිෂ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ උත්මාචාරාය සිදු කෙරුණි.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් මල්දම පැළඳවා ජාතියේ උපහාරය පිරිනැමීමෙන් පසුව ජනාධිපති , අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, හේමා ප්‍රේමදාස මහත්මිය, නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පවුලේ සියලු දෙනා පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීම සිදු කෙරුණි.