News

කටානේ පාසලකට අනවසරයෙන් ඇතුළු වූ විදෙස් මාධ්‍යවේදියෙක් රිමාන්ඩ්

කටාන ප්‍රදේශයේ පිහිටි විදුහලට අනවසරයෙන් ඇතුළු වු විදෙස් මාධ්‍යවේදීයෙක් වන සිද්ධික් අහමඩ් ඩැනිස් මැයි මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කර තිබේ.

ඉරාක ජාතිකයෙක් වෙන සිද්ධික් අහමඩ් ඩැනිස් රොයිටර්ස් ආයතනයේ ඡායාරූප ශිල්පියෙක් ලෙස සේවය කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඔහු අද (02) පස්වරුවේ කටානේ පිහිටි විදුහලට අනවසරයෙන් ඇතුළු වී තිබේ.

මේ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව කටාන පොලීසිය විසින් මෙම මාධ්‍යවේදියාව අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය පාස්කු ඉරුදින (අප්‍රේල් 21) කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සිසුවෙකුගේ විස්තර ලබාගැනීම සදහා පැමිණීමේදී විදුහලේ සිටි දෙමාපියන් විසින් පොලීසියට දැනුම්දී තිබේ.