News

ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයට අධිකරණයෙන් අවසර

පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා වූ මෙහොමඩ් සහරාන් කාෂිම්ගේ ඩී.එන්.ඒ හඳුනාගැනිම සඳහා ඔහුගේ නැඟනිය කොළඹ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් මඩකලපුව බන්ධනාගාර අධිකාරිවරයා වෙත අදාළ නියෝගය ඊයේ(09) ලබාදී තිබේ.

ඒ අනුව අද(10) දිනයේ සිට ලබන 15 දින දක්වා කාලය අතරතුර එම සැකකාරිය කොළඹට රැගෙන එන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධීකාරිවරයාට නියෝග කර තිබේ.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මාරාගෙන මැරෙන ප්‍රහාරයට මොහොමඩ් සහරාන් කාෂිම් සමග මොහොමඩ් ඉන්සාම් ඊබ්‍රහිම් යන දෙදෙනා සහභාගීවී ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දෙනු ලැබුවේය.

එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති ඔවුන්ගේ හිස් කොටස් ඉදිරිපත් කර ඩී.එන්.ඒ පරික්ෂණයක් මඟින් අනන්‍යතාව තහවුරු කර ගන්නා ලෙසයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර ඇත.

ඒ අනුව දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටින මොහොමඩ් ඉන්සාම් ඊබ්‍රහිම් නමැත්තාගේ පියා සහ සහෝදරයින් දෙදෙනා ද රුධිර සාම්පල ලබා ගැනීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.