News

වීසා නැතිව මෙරට රැඳී සිටි නයිජීරියානුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

ආගමන විගමන කොන්දේසි උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශීය ජාතිකයින් 4 දෙනෙකු දෙහිවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (13) පස්වරුවේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් 38, 33 හා 36 යන වයස්වල පසුවන නයිජීරියානු ජාතිකයින් බව පොලීසිය පැවසී ය.

සැකකරුවන් අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දෙහිවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.