ගල්ගේ පිවිසුමෙන් යාලට එන සංචාරකයෝ වැඩිවෙති
ඉකුත් සතියේ ගල්ගේ උද්‍යාන පිවිසුම හරහා යාල වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයන් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. කලාප අංක 3-4-5 නැරඹීම සදහා එසේ සංචාරකයන් පැමිණෙන අතර දිනකට ජීප් රථ 150කට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙන බවද වාර්තා වෙයි.
යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 කොටස ඔක්තෝබර් මස 31වැනි දින දක්වා සංචාරකයින් වෙනුවෙන් වසා දැමීමට තීරණය කිරීමත් සමග කටගොමුව සහ පලටුපාන උද්‍යාන පිවිසුම් මගින් සංචාරකයින් රැගෙන පැමිණෙන ජීප් රථ කලාප අංක 3-4-5 කොටස්වලට පිවිසෙන අතර ඒම ජීප් රථවලට කිලෝ මීටර් 70ක දුරක් වනාන්තරය තුළ සංචාරය කිරීමට මාර්ග පහසුකම්ද වනජීවී දෙපාර්තමේන්තුව විසින් සපයා තිබේ. සංචාරකයින්ගේ නවාතැන් පහසුව සදහා කදවුරු බිම් දෙකක් (කුඩා ගල් අමුණ 01 සහ 02) සහ සංචාරක නිවාස දෙකක් (දඹකොටේ සහ කුඩා ගල් අමුණ) ස්ථාපිට කොට තිබෙන අතර ඒවා වෙන්කරවා ගැනීම වනජීවී දෙපාර්තමේන්තුව හරහා සිදු කළ හැකිය.
කලාප අංක 1 කොටස සංචාරකයින් සදහා වසා තැබෙන කාල සීමාවේදී සංචාරක නිවාස අලුත්වැඩියා කිරීම සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සිදුකරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
සුගත් පෙරේරා