News

මධුමාධව ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනම්

පසුගිය 13 වැනිදා රාත්‍රියේ මිනුවන්ගොඩ නගරයේදී සිදුවූ ප්‍රචන්ඩකාරී සිද්ධීන්වලට සම්බන්ධ යැයි සැකකරන පිවිතුරු හෙල උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ඇතුළු තිදෙනෙකුට විදේශ ගමන් වළක්වමින් තහනම් නියෝගයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ.සමරදිවාකර මහතා ආගමන විගමන පාලන ජෙනරාල් වෙත නිකුත් කළේය.

අධිකරණය හමුවේ කරුණු අනාවරණය කරමින් පොලීසිය කියා සිටියේ බුද්ධි අංශ නිලධාරීන්, විශ්වාසදායක පුද්ගල තොරතුරු,සීසීටිවී දර්ශන උපයෝගි කරගනිමින් පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායම් කිහිපයක් මිනුවන්ගොඩ ප්‍රචන්ඩකාරී සිද්ධීන්වලට සම්බන්ධ 15 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවයි.

මධුමාධව අරවින්දට අමතරව මිනුවන්ගොඩ පොල්වත්තේ පදිංචි කේ.පී අතුල දයාරත්න, හීනටියන ගුරුගම පදිංචි කේ. නුවන් උපේන්ද්‍ර යන තිදෙනාට මෙසේ විදේශ ගත වීම තහනම් කෙරිණි.

හීනටියාව, ධම්මාලෝකගම, කලහුගොඩ, මහගම, ගුරුගම, පොල්වත්ත යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් කළේය.