News

නාත්තන්ඩිය ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 31ට ඇප

නාත්තන්ඩිය – කොට්ටරාමුල්ල ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 31 දෙනෙකුව ශරීර ඇප මත මුදා හරින ලෙස මාරවිල දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා අද (29) වැනිදා නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හරින ලද්දේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ පළුවල්ගාල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්වය.
පසුගිය 13 වැනිදා නාත්තන්ඩිය – කොට්ටරාමුල්ල ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදී එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල ලෙස කැපුම් තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කළ කොස්වත්ත පොලීසිය සැකකරුවන් 31 දෙනෙකුව පසුගිය 15 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදි.එම සැකකරුවන්ව සිවිල් හා දේශපාලන අයිතිමය පිළිබදව වූ සම්මුතිය හා හදිසි නීති රෙගුලාසි කඩ කිරීම යන චෝදනාවන් බී වාර්තාවක් මගින් ගොණු කරමින් මාරවිල දිසා අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.ඒ අනුව සැකකරුවන් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

29 වැනිදා නැවතත් සැකකරුවන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.එම අවස්ථාවේදී අධිකරණයට කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි හලාවත කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මසිරි මහතා කියා සිටියේ සැකකරුවන්ට එරෙහිව හදිසි නීතිය කඩ කිරීමේ චෝදනාව යටතේ චෝදනා ගොණු කිරීමට හැකියාව ඇද්දැයි තවමත් විමර්ශණ කටයුතු සිදු කරන බවයි.

එම කරුණු සැලකිල්ලට ගත් මාරවිල දිසා විනිසුරා හා ප්‍රධාන මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා සැකකරුවන්ව එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වන ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

නීතිඥ ලලන්ත සරත්චන්ද්‍ර මහතා ඇතුළු නීතිඥයින් කණ්ඩායමක් සැකකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ජුඩ් සමන්ත