නවතම ප්‍රවෘත්ති

රවිගේ සේවයට නාවික භටයන් 126ක් හා වාහන 19ක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න  නාවික හමුදා සාමාජිකයන් 126 දෙනකුගේ සේවය හා නාවික හමුදා වාහන 19 ක් භාවිතා කරන බව නාවික හමුදා මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වශයෙන් 86 දෙනකු යොදාගෙන ඇති බවත් ප්‍රවාහන සංචිතය වශයෙන්  29 දෙනකු යොදාගෙන ඇති බවත් වාර්තාවෙයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ කටයුතු සඳහා ඉතිරි අය යොදාගෙන ඇති අතර ඉන් 3 දෙනකු එහි මාධ්‍ය අංශය සඳහා යොදවා ඇත. තවත් 3 දෙනකු තොරතුරු තාක්ෂණ අංශය සඳහා යොදා ඇති අතර ඉතිරි පිරිස එහි වෙනත් කටයුතු සඳහා යොදවා තිබේ.

නාවික හමුදාවෙන් ලබාගෙන ඇති වාහන 19 අතර කාර්, ඩබල් කැබ්, කැබ්, වෑන්, ජීප්, ත්‍රීවිල් හා මෝටර් සයිකල් යන වාහන වෙයි. මෙම වාහනවලින් දෙකක් ඔහුගේ බිරිඳගේ හා පුතාගේ පරිහරණයට ලබා දී ඇති බව පැවසේ.

2009 අංක 35 දරණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාල පනත අනුව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ විධානය අධීක්ෂණය හා පාලනය යටතේ ඔහු කටයුතු කළ යුතු අතර සන්නද්ධ හමුදා සාමාජිකයන් එම කාර්යාලය කටයුතු සඳහා යොදාගන්නේ නම් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් විමසා එය සිදු කළ යුතුය.