News

පළාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් සවස 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 පමණ වේ.

ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.