News

කටුනායක සහ වරාය පරිශ්‍රයේ ඇති කසල වෙනත් ස්ථානයකට රැගෙන යාම තහනම් කරමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්

කටුනායක නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේ පෞද්ගලික සමාගමට අයත් භූමියක පවතින විදේශීය කසල සහ වරාය පරිශ්‍රයේ ඇති කන්ටේනර්වල කසල දිවයිනේ කිසිදු අභ්‍යන්තර ප්‍රදේශයකට රැගෙන යාම වළක්වමින්, අභියාචනාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළේය.

එමෙන්ම අධිකරණයේ කිසිදු අවසරයකින් තොරව එම කසළ කන්ටේනර් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට ද අභියාචානාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල නියෝග කළේය.

මෙරටට කසළ ආනයනය කිරීම සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට ද අභියාචනාධිකරණය අද අවසර දුන්නේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ හේලීස් ෆ්‍රී සෝන් ලිමිටඩ් සහ ඊ.ටී.එල් කලම්බු ප්‍රයිවට් ලිමිඩට් , ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ,මධ්‍යම පරිසර අධිකාරිය ,ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නිතිපතිවරයායි.

අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේ, පෙත්සමේ වගඋත්තරකරුවන්ට සැප්තැම්බර් 20 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, දන්වා නොතිසි නිකුත් කරන ලෙසයි.