අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ඇප මත මුදාහැරේ
සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.
ඒ, නීති විරෝධී අන්දමින් අලි ඇතුන් 05 දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධි චෝදනා 36ක් යටතේ පවරා තිබූ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීය.
නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මෙම නඩුව විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය.
එහිදී එක් අයෙකුට රුපියල් 25,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.
විත්තිකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ ජනක බණ්ඩාර මහතා අද විරෝධය පළ නොකළේය.
මෙම නඩුව අගෝස්තු 30 වන දා යළි කැඳවීමට නියමිතයි.
