News

වෙලම්බොඩ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම්

මහනුවර වෙලම්බොඩ පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී වෙලම්බොඩ මුස්ලිම් දේවස්ථානයක තිබී අත්අඩංගුවට ගත් මන්නා සහ පිහි ආපසු දේවස්ථානයට භාර දීමට කටයුතු කිරීමේ සිද්ධිය මත මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

හජ්ජි උත්සවය නිමිත්තෙන් ගවයින් ඝාතනය කිරීමට මන්නා පිහි සහ පොරෝ ලබාදෙන ලෙස පොලීසියෙන් කළ ඉල්ලීමකට අනුව,වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා මන්නා පිහි සහ පොරෝ ආපසු ලබාදීමට සූදානම් වී තිබුණි.

මේ අවස්ථාවේ විශේෂ රාජකාරියක නිරතව සිටි පොලිස් ස්ථානාධිපතිවරයාට එම සිද්ධිය දැන ගන්නට ලැබී නඩු භාණ්ඩ ආපසු ලබාදීම වළක්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය දැනුවත් කිරීමෙන් අනතුරුව වහාම පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ වැඩබලන වෙලම්බොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වහාම මහනුවර මූලස්ථාන පොලිසියට ස්ථානමාරු කර රාජකාරි වැඩ තහනමට ලක්කල බව පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය.