News

රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනපති විමර්ශන කොමිසමට

ප්‍රතිජීවක ඖෂධ ආනයනයේදී සිදු වූ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධ විමර්ශනයේ සාක්ෂි ලබා දීමට රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ.එම්.ඩී.ඒ. ජයසිංහ මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට අද (21) කැඳවා ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා යොමු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා කොමිසම හමුවට කැඳවා ඇති බව එම කොමිසම සඳහන් කළේය.

ඌව පළාත් සභාවේ මාර්ග සංවර්ධනයේදී රුපියල් මිලියන 726ක මුදලක් අවභාවිත කළ බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා එම පළාත් සභාවේ ලේකම්වරයා අද ජනාධිපති කොමිසම හමුවට කැඳවා ඇති බවද වාර්තා වෙයි.