News

වවුනියාව ගුවන් හමුදා කදවුර පිටුපස ඉඩමකින් ඩෙටනේටර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

වවුනියාව, කොවිල්පුදුකුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබී බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා ඩෙටනේටර් හා බෝම්බ පිපිරීමට යොදාගන්නා වයර් තොගයක් අද (29) උදැසන සොයාගත් බව වවුනියාව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ වවුනියාව ගුවන් හමුදා කඳවුර පිටුපස ප්‍රදේශයේ ගෙවත්තක තිබි අදාළ ඩෙටනේටර සහ වයර් සොයාගත් බවයි.

ඩෙටනේටර දෙකක්, බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා වයර් අඩි 100ක් පමණවූ ප්‍රමණයක් මා බෝම්බයක කොටසක් වැනි යමක් එලෙස සොයාගත් බවද පොලිසිය පැවසීය.

ඉඩම අයිතිකරු ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවක් අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවි අනතුරුව පොලිසිය දැනුවත් කොට ඇති බවද පොලිසිය සදහන් කළේය.

පසුගිය යුධ සමයේ එල් ටි ටි සංවිධානය වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට හෝ ගුවන් හමුදා කදවුර වෙත පහරදීමට ගෙනා පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස හමුවන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරති.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය