ගිනිඅවි 2ක් හා පතුරම් 10ක් සමග සැකකරුවන් දෙදෙනෙකු කුරුණෑගලදී අත්අඩංගුවට
කුරුණෑගල, ගෝවා කොටුව හන්දිය අසලදී ටී 56 ගිනි අවියක්, මැගසිනයක් හා සජීව පතුරම් 10 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
යතුරු පැදියකින් ගමන් ගත් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂා කර, එක් යතුරු පැදිකරුවෙකු හැඳ සිටි ජැකට්ටුවට ආවරණය කරමින් රැගෙන යමින් සිටියදී අදාළ ගිනි අවි හා පතුරම් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, බුත්තල යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු යුද හමුදා සෙබලෙකු හා නිට්ටඹුව වතුපිටිවල විජයබා පාබල රෙජිමේන්තුවේ යුද හමුදා සිවිල් සේවකයෙකු වන අතර ඔවුන් 46 හා 37 යන වයස්වල පසුවෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ නිවෙස් ඊයේ දහවල් පුපුණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුහුණුව ලැබූ නිල සුනඛයෙකු යොදවා පරීක්ෂා කළ බව පොලීසිය සඳහන් කළ අතර එහිදී එක් සැකකරුවෙකුගේ නිවසේ තිබී තවත් ටී 56 ගිනි අවියක්, එම ගිනි අවි පිරිසිදු කිරීමේ කට්ටලයක්, ඉතාලියේ නිෂ්පාදිත වායු රයිෆලයක්, අවි සඳහා භාවිත කරන දුර දක්නයක්, බෝර 12 පතුරම් තුවක්කු සඳහා භාවිත කරන හිස් පතුරම් කොපු 6 ක් සහ යුද හමුදා නිලධාරින් භාවිත කරන පැක් 2 ක් හා මෙන්ම තවත් උපකරණ රැසක් සොයා ගෙන ඇත.
