කංජිපානි ඉම්රාන් ලබන 20 වනදා දක්වා යළි රිමාන්ඩ්
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු නිදහස් කරන ලෙස කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට විදේශයක සිට දුරකතන මගින් මරණීය තර්ජන සිදු කළේ යැයි සැකකෙරෙන දැනට සිර දඬුවම් විදින පතාල කල්ලි නායකයෙකු බව කියන කන්ජිපානි ඉම්රාන් නමැත්තා ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (09) නියෝග කළාය.
සිර දඬුවම් විඳින කංජිපානි ඉම්රාන් අද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු පොලිස් නිලධාරියෙකුට තර්ජනය කර තිබීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එය බරපතළ වරදක් බවත් එම වරදට අනුව ඔහුට ඇප ලබා දීමකින් තොරව නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට හැකියාවක් තිබෙන බවත් අධිකරණය හමුවේ පෙන්වා දුන්හ.
මෙහිදී පොලිසිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය සැකකාර කන්ජිපානි ඉම්රාන් නමැත්තාගේ තර්ජනයට භාජනය වූ පොලිස් පරීක්ෂකවරයෙකුගේ ජංගම දුරකථනයක් රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස නියෝග කළාය. ඊට අමතරව තර්ජනයට භාජනය වූ එම පොලිස් පරීක්ෂකවරයා හා සැකකාර කන්ජිපානි ඉම්රාන් කටහඬ පරීක්ෂණයක් සඳහා ඉදිරියේ දී රජයේ රස පරීක්ශක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසත් එම පරීක්ෂණ වලට අදාළ වාර්තා ඉදිරි කාලයේ අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය පොලිසිය වෙත වැඩිදුරටත් නියෝග කළාය.
කෙසෙල්වත්ත පොලිසිය විසින් මීට පෙර අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පසුගිය කාලයේ කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සගයකු බව කියන කේමදාසන් තුෂාන්තන් හෙවත් සුසන්ත නැමති අය හෙරොයින් මත්කුඩු ග්‍රෑම් විස්සකට අධික සංඛ්‍යාවක් සමග කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන් කර තිබේ. එම වකවානුවේ විදේශගතව සිටි කංජිපානි ඉම්රාන් දුරකථන මාර්ගයෙන් එම වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කරමින් තම සගයා මුදාහරින ලෙස බලපෑම් කර ඇති බවත් එම නිලධාරීන්ට පරුෂ වචනවලින් බැන වැදී මරණීය තර්ජන ක ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.
ගංජා කිලෝග්‍රෑම් 5.3 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරද පිළිගත් කංජිපාන් ඉම්රාන්ට කොළඹ මහාධිකරණය විසින් ඉකුත්දා බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කර තිබුණි.
අධිකරණ වාර්තාකරු
