News

ජනපති සටනට සහාය දෙන්න දෙමළ සන්ධානය සජිත්ගෙන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි

ජනාධිපතිවරණයේදී සහාය ලබා දීම සඳහා උතුරු නැගෙනහිර ජාතික ප්‍රශ්නය විසඳීමේ ක්‍රියාමාර්ග ලිඛිතව ඇමැති සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැති සජිත් ප්‍රේමදාස සහ අමාත්‍යවරුන් කිහිප දෙනකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයට ද ආරාධනා කර ඇත.

මෙම සාකච්ඡාවේදී ඇමැති සජිත් ප්‍රේමදාසගෙන් උතුර නැගෙනහිර ජාතික ප්‍රශ්නය විසඳීමේ ක්‍රියාමාර්ග, අවතැන් වූවන් යළි පදිංචි කිරීම සහ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ලිඛිතව ඉල්ලා සිටීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.

.ඇමැති සජිත් ප්‍රේමදාස සහ දෙමළ ජාතික සන්ධානය යාපනයේදී පසුගියදා පැවැත් වූ සාකච්ඡාවේදී ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් බලයට පැමිණි පසු ජාතික ප්‍රශ්නය විසඳන බවයි.

ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා අගමැතිගෙන් වැඩපිළිවෙළ මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බැවින් ඔහුගෙන් ලිඛිතව ඒ පිළිබඳ ඉල්ලා නොසිටීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.

උදයජීව ඒකනායක