News

අල්ලස පාලනය කිරීමට ඇති එකම මාර්ගය දුෂිතයන්ට දඩුවම් ලබාදීමයි – උතුරු පළාත් ආණ්ඩුකාර

අල්ලස පාලනය කිරීම සඳහා ඇති එකම මාර්ගය දූෂිත නිලධාරීන්ට දඬුවම් කිරීම පමණක් වන බවත්, අල්ලස් හා දූෂණ වලට සම්බන්ධ වන ඉහළ නිලධාරීන් දඬුවම් වලින් බේරී සිටින අතර සාමාන්‍ය මට්ටමේ රාජ්‍ය සේවකයන් දඬුවම් වලට ලක් වන බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

උතුරු පළාතේ අල්ලස් හා දූෂණ තුරන් කිරීම සඳහා වූ ආණ්ඩුකාරවරයාගේ සංකල්පයකට අනුව, අල්ලස හා දූෂණය පිළිබඳව මහජනතාව සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වු පිරිස් වෙනුවෙන් අදහස් දැක්වීමකට එක්වෙමින් රාඝවන් මහතා එලෙස පැවසුවේය.

ප්‍රජාතන්ත්‍රවාදය සහ තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අල්ලස හා දූෂණය අහෝසි කළ යුතු බවත් ඒ පිළිබඳව රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහජනතාව ද වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවත්වු සම්මන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ආණ්ඩුකාරවරයා පැවසුවේ දූෂණයට සම්බන්ධ වන ඉහළ නිලධාරීන් දඬුවම් වලින් බේරී සිටින තත්වයක් දැක ගැනීමට හැකි වන බවයි.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ මෙහෙයවීම යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් වැඩසටහන සංවිධානය කොට තිබිණ.

වැඩසටහනට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන්, රජයේ නිලධාරීන් සහ සිවිල් සමාජ සංවිධානවල සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වවුනියාව – මාධව කුලසූරිය