සම්බන්ධන් සහ අගමැති අතර හමුවක් අද
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් වන සාකච්ජාවක් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ජාවක් අද (17) සවස කොළඹදි පැවැත්වීමට නියමිත බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පවසයි.
චාර්ල්ස් නිර්මලනාදන් මහතා පැවසුවේ අදාළ සාකච්ජාවේදී දෙමළ ජාතික සන්ධානය ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ස්ථාවරත්වය දැන ගැනීමට නියමිත බවයි.
දෙමළ ජාතික සන්ධාන නායකයින් හා සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ජා කිරීමට පෙර අගමැතිවරයා සමඟ සාකච්ජා කොට අගමැතිවරයාගේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් කරුණු විමසීම සිදුකළ යුතු බවද දෙමළ ජාතික සන්ධාන පක්ෂ නායකයින් තීරණය කොට ඇති බවද හෙතෙම පැවසුවේය.
නිර්මලනාදන් මහතා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ජන්දය මෙවර ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාධකය බැවින් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයින් දෙමළ ජාතික සන්ධානයේ කැමැත්ත ලබා ගැනීම වෙනුවෙන් අපේක්ෂාවෙන් පසුවන බවයි.
අගමැතිවරයාගේ ප්‍රකාශ මත ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා, ඉලගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා,ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියළුදෙනා සාකච්ජාවට එක්වෙනු ඇති බවට හෙතෙම සඳහන් කළේය.
නිර්මලනාදන් මහතා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදීමට කැමැත්ත පළ කරන අපේක්ෂකයා වෙනුවෙන් දෙමළ ජනතාව මෙවර ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙනු ඇති බවයි.
උතුරු නැගෙනහිර ඉඩම් ගැටළුව,අතුරුදහන්වූවන්ගේ ගැටළුව,යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම,යුද්ධයෙන් පීඩාවට පත්වුවන් යළි නඟා සිටුවීම ආදි කාරණා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ජනාධිපති අපේක්ෂකයින්ගේ අදහස් විමසීමට නියමිත අතර, අදාළ ගැටළු වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට එකඟවන පුද්ගලයා වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය හිමිවනු ඇති බවද හෙතෙම පැවසුවේය.
වවුනියාව – මාධව කුලසූරිය
