News

නෙළුම් කුලුනේ ‘එලිට්’ සමාගම දැන් වෙනස් ලිපිනයක – චීනයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් නිවේදනයක්

කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීමට සම්බන්ධ වූ ප්‍රශ්නගත එලිට් (ALIT) නම් චීන සමාගම ඔවුන්ගේ මුල් ලිපිනයෙන් වෙනස් ස්ථානයක පිහිටා ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු පවසයි.

තානාපතිවරයා මේ බව පවසන්නේ එලිට් සමාගම නමින් සමාගමක් නොමැති බවත් එම සමාගමට දුන් රුපියල් කෝටි දෙසීයක මුදලක් අතුරුදන්ව ඇති බවත් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයට අනුව 2018 වසරේ දිනයක අදාළ සමාගම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපතිවරයා කොඩිතුවක්කුට දුරකථනයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ අංශයේ ප්‍රධානියා මගින් සමාගම පිළිබඳ සොයා බැලීමට තානාපතිවරයා පියවර ගත්තේය. එහිදී දැනගන්නට ලැබී ඇත්තේ එලිට් සමාගම ඔවුන්ගේ මුල් ලිපිනයෙන් වෙනස් ලිපිනයකට ගෙනගොස් ඇති අතර කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන්ද ඔවුන් ඉවත්ව ඇති බවකි. ඉන්පසු තමන් අදාළ සමාගමේ කාර්යාලයට ගොස් එහි නිලධාරීන් හමුවූ බවත් ඒ සමගම තවදුරටත් කොළඹ නෙළුම් කුලුන ඉදිකිරී‍මේ කටයුතුවලට සම්බන්ධ නොමැති බවත් ඔවුන් තමන්ට දැනුම් දුන් බව කොඩිතුවක්කු සඳහන් කර සිටී.

එම සාකච්ඡාවෙන් පසු බීජිං තානාපති කාර්යාලය ඒ පිළිබඳ වාර්තාවක් විදුලි සංදේශ නියාමන කොමිසමට යොමුකර තිබේ. මේ සති අන්තයේ යළි බීජිං බලා ගිය පසු මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන බවද චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු විසින් නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර සිටී.