News

නාවික හමුදාව පුද්ගලයින් 18ක් බේරාගනී – 417ක් ආරක්ෂිත ස්ථානයන් වෙත ප්‍රවාහනය කරයි

දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇත.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිලවා ගේ උපදෙස් මත පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් විවිධ ප්‍රදේශවල මේ වන විට අනුයුක්ත කර ඇත.

නාවික හමුදාව සදහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, බද්දේගම, උඩුගම, පෝද්දල, ඉමදුව, නාගොඩ යන ප්‍රදේශවල සහ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට යන ප්‍රදේශවල මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අකුරුස්ස ඇතුළු ප්‍රදේශ රැසක මේවන විට සහන කණ්ඩායම් යොදවා ඇති අතර, ඒ සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින්ගෙන් සමන්විත සහන සැළසීමේ කණ්ඩායම් අනුයුක්ත කර ඇති බවයි.

ඒ අනුව, මේ වන විට නාවික හමුදාව විසින් සිවිල් වැසියන් 417 දෙනෙකු ආරක්ෂිත ස්ථානයන් වෙත ප්‍රවාහනය කිරීමට ද සමත්ව ඇති අතර, ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටි පුද්ගලයින් 18 දෙනෙකු බේරාගෙන ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමට ද කටයුතු කර ඇති බව නාවික හමුදාව පවසයි.

එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවකදී යෙදවීම සඳහා සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි තවත් හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් මේ වන විටත් නාවික විධානයන්හි සූදානමින් තබා ඇති බවද නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කළේය.