News

අධික වැස්සෙන් මැතිසබය තෙත් වෙයි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළත පසුගිය සතියේ ඇති වූ අධික වර්ෂාවෙන් තෙමීමට ලක්වී ඇත.

වසර තිස්අටකට ප්‍රථම ඉදිකළ මෙම පාර්ලිමේන්තු සංකීර්ණය මේ වන විට ප්‍රතිසංස්කරණය කළ යුතු අවධියට පත්ව ඇති බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති. ඒ අනුව පාර්ලිමේන්තු සභා ගර්භයේ ස්ථාන කිහිපයක් සිවිලිමෙන් ජලය කාන්දුවීම හේතුවෙන් තෙමීමට ලක්වී ඇත. මහජන ගැලරියටද මේ ආකාරයටම වතුර බින්දු වැටී තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාන කිහිපයක සිවිලිමද කඩාවැටී ඇති බව වාර්තා වේ. හතරවන මහලේ පිහිටි විදේශ සංවිධාන කාර්යාලයේ දෙපස සිවිලිමද කඩාවැටී ඇති අතර කාර්ය මණ්ඩල භෝජනාගාරය තෙමී ඇත.

මීට වසර තුනකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණය අලුත්වැඩියා කිරීම සඳහා යෝජනා වී ඇතත් එය ක්‍රියාත්මක වී නොමැත.

පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකළ සමාගමද ඒ බව සනාථ කරමින් අවස්ථා කීපයකදී දන්වා ඇත්තේ කඩිනමින් එම සංකීර්ණය අලුත්වැඩියා කළ යුතු බවය.

චමින්ද සේනාරත්න