News

සහරාන්ගේ පිරිසකට අද හෙටම නිදහස

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ජමාත් ඉස්ලාම් සංවිධානයේ නායකයා බව කියන හජ්පුල් අක්බර් නිදහස් කළ ආකාරයෙන් සහරාන්ගේ කණ්ඩායම් සමග ඇල්ලූ තවත් කිහිප දෙනකු මුදා හැරීමට සිදුවන බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානියෙක් අනාවරණය කළේය.

ඔවුන්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධ බුද්ධි තොරතුරු මෙන්ම සහරාන්ගේ කණ්ඩායම් සමග දුරකථන සබඳතා පැවැත්වූ බවට සාක්ෂි ඇතත් අධිකරණය හමුවේ ඒවා ඔප්පු කරගත නොහැකි නිසා අධිකරණයට ඉදිරිපත් කර ඔවුන් නිදහස් කරන්නට සිදුවන බවද ඔහු හෙළි කළේය.

මාවනැල්ල බුදු පිළිම කැඩූ අන්තවාදී කල්ලිය වන සහීඩ්, සාහිත් දෙදෙනාගේ පියාගේ සොහොයුරු වන හජ්පුල් අක්බර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාවනැල්ලේදී අත්අඩංගුවට ගත්තේ පසුගිය අගෝස්තු මාසයේදීය.

ශ්‍රී ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් අන්තවාදී අදහස් දරන තරුණයන් විදෙස් රටවල සන්නද්ධ පුහුණුවට යැවීම ඇතුළු රහස්‍ය තොරතුරු රැසක් හජ්පුල් අක්බර්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබිණි.

මේ අතරේ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට දේශපාලනඥයන් ඇතුළු කණ්ඩායම්වලින් විමර්ශනවලට බලපෑම් එල්ල වීමත් සමග මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී තිබිණි.

මෙම විමර්ශන අතරේ දේශපාලනඥයන් පවා විවිධ බලපෑම් එල්ල කළ බවද විමර්ශන නිලධාරීන්ගෙන් අනාවරණය විය.

හජ්පුල් අක්බර් මීට දින කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ පසු නිදහස් කර තිබිණි.

දැනට අත්අඩංගුවේ සිටින කිහිප දෙනකුම ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා