News

මංගලගේ කප්පම් ගැනීම් හෙළි කරන්න වෘත්තිය සමිති සූදානමින්

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක විදේශීය මත්පැන් සම්බන්ධයෙන් වන සීමා අවම කිරීමට ගත් පියවර වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර සංශෝධනය කිරීමට පියවර ගැනීම පිළිබඳව සුරාබදු වෘත්තීය සමිති එකමුතුව චෝදනා කරයි.

විදේශීය මත්පැන් ජාවාරම රට තුළ විශාල වශයෙන් සිදුකරන නිසා විදේශීය මත්පැන් ළඟ තබා ගැනීමේ උපරිම සීමාව ලීටර් 7.5ක් දක්වා සීමා කිරීමට 2015 වසරේදී තීරණය කළ බව වෘත්තීය සමිති එකමුතුවේ සම ලේකම් රනුර නජිත්සිං පවසයි.

උසස් පුද්ගලයන්ගේ නිවෙස්වල ඇති කුඩා තැබෑරුම්වලට නීත්‍යනුකූල බවක් ලැබීම, බියර් සහ වයින් වැඩි වශයෙන් සංසරණය කිරීම, බලපත්‍ර නොමැතිව විකුණන ස්ථානවලට ගබඩා කිරීමට ඉඩකඩ ලබාදීම වැනි අවශ්‍යතාවයන් මුදල් ඇමැතිවරයාගේ තීරණය මගින් සිදුවන බව ඔහු කියා සිටියේය.

පවතින නීතිරීති වෙනස් කිරීමට නිලධාරීන්ගේ කැමැත්තක් නොමැති බව මුදල් අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කිරීමද වෘත්තීය සමිති එකමුතුව හෙළා දකියි.

මුදල් ඇමැතිවරයා ප්‍රධාන පෙළේ මත්පැන් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ලබා ගනිමින් සංශෝධන සිදුකරමින් බියර් මිල අඩු කළේද ජාවාරම්කාර සමාගම්වල වුවමනාවට බව වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙයි. මුදල් ඇමැතිවරයා සහ ගෝලයන් මත්පැන් සමාගම් මගින් කප්පම් ලබාගැනීම පිළිබඳ නම් ගම් සහිතව හෙළි කරන බවද වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

උදයජීව ඒකනායක