News

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණු දීගය ගැන මෛත්‍රිගෙන් ප්‍රකාශයක් අද හෝ හෙට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමේ තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අද (7 වැනිදාට) හෝ හෙට (8 වැනිදාට) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

සන්ධාන ගත වීමට අදාළ සාකච්ඡා කිහිපයක් ඊයේ (06 වැනිදා) දිනයේදී පැවැත්වූ බව වාර්තා වෙයි. මාධ්‍ය හමුවක් කැඳවමින් හෝ නැතිනම් ජනාධිපතිවරයා විසින් තීරණය ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමේ අවසන් තීරණය ගැනීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයාට පවරා ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ තීරණය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග එකඟතා ගිවිසුමක් මෙම 09 වැනිදාට ප්‍රථම අත්සන් කිරීමටද නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගිවිසුම මෙම 09 වැනිදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී අත්සන් කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය මෙම 09 වැනිදා අනුරාධපුර සල්ගාදු ක්‍ර්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම සන්ධානය බිහි කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ තීන්දු තීරණ පිළිබඳවද සෙනසුරාදා පැවැති මධ්‍යම කාරක සභාවේදී අවධානය යොමු කර තිබේ.

සන්ධානගතවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ තීරණය ඊයේ (06 වැනිදා) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර එය හදිසියේ නතර කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි. එහෙත් ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (06 වැනිදා) අවසන් වන තුරු එම පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමද විශේෂත්වයකි.

උදයජීව ඒකනායක