News

ශ්‍රීලනිප තීන්දුව අද – පොහොට්ටු ගිවිසුමට අත්සන් තැබීම අනුරාධපුරයේදී

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව අද (8 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අවසන් තීන්දුව ගැනීමේ බලය පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත පවරා ඇත

ජනාධිපතිවරයාගේ තීන්දුව පසුගිය ඉරිදා හෝ ඊයේ (7 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත්, තවත් සාකච්ඡා වට කීපයක් පැවැත්වීම හේතුවෙන් තීන්දුව ප්‍රකාශ කිරීම ප්‍රමාද විය. අවසන් තීන්දුව ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (7 වැනිදා) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ තීන්දුවට ප්‍රථම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, නිශාන්ත මුතුහෙට්ටිගම සහ බස්නාහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත විය යුතු බවයි.

කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගත විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය සෙනසුරාදා රාත්‍රියේදී තීරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ හෙට (9 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහ රැලියේදී අත්සන් කිරීමට සැලසුම් කර ඇත.

උදයජීව ඒකනායක