News

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අද

ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අද (11 වැනිදා) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන හතළිස් හතක දී (47) පැවැත්වේ.

මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය තුළ පැවැත්වෙන මෙම ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින අපේක්ෂකයන් ගණන පනස් තුන් දහස් තුන්සිය අසූහතරකි (53,384).

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා අපේක්ෂකයන් විසි අට දෙනෙකු (28) තෝරාපත්කර ගැනීම සිදුකෙරේ. මෙම මැතිවරණය සඳහා පක්ෂ පහකින් (05) අපේක්ෂකයන් එකසිය පනස් පස් දෙනෙකු (155) තරග කරති. එක් පක්ෂයකින් ඉදිරිපත්වී සිටින අපේක්ෂකයන් ගණන තිස් එක් දෙනෙකි (31).

එක්සත් ජනතා නිදහස් සන්ධානය,එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවලින් අපේක්ෂකයෝ තරග කරති.

මෙම මැතිවරණයේ දී ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අවිත්තාව, ඕමත්ත, මැටිබිලිය, ඉදිපලේගොඩ,අමුගොඩ, කැටන්දොල, ඇල්පිටිය,නවදගල, බටුවන්හේන,තලාව, කුඩාගල කදිරන්දොල, වල්අඹගල, පිටුවල, ඇල්ල, අම්බන කහදූව, පිනිකහන සහ තිබ්බොටුවාව යන කොට්ඨාස දාහත (17) සඳහා අපේක්ෂකයන් දාහත් දෙනෙකු (17) තෝරා ගැනීමට නියමිත අතර,අතිරේක ලැයිස්තුවෙන් තෝරාපත්කර ගැනීමට නියමිත අපේක්ෂකයන් ගණන එකොළහකි. තෝරා ගැනීමට නියමිත අමතර මන්ත්‍රී ධුර ගණන තුනකි (03).

මැතිවරණය සඳහා හයසියයක (600) පමණ කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බව ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් කියයි.

අද 11 වැනිදා පෙරවරු 7.00 ට ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඇල්පිටිය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.

ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඡන්ද මධ්‍යස්ථාන හතළිස් හතක දී (47) සිදු කෙරෙන අතර, ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදීය.

ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාමේ කටයුතු පූර්ණ ආරකෂාව මත ඊයේ (10 වැනිදා) සිදු කෙරුණි. ඡන්දය පැවැත්වෙන ආකාරය සම්බන්ධව ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් සඳහා ඊයේ (10 වැනිදා) සවස 3.00න් පසු පෙර පුහුණු වැඩසටහනක් ද පවත්වා ඇත.

ඡන්දය ගණන් කිරීමේ කටයුතු පස්වරු 4.00 න් පසුව ආරම්භ කරන බව ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා කීවේය.

ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය ගණන් කර ඡන්ද ප්‍රමාණයන් ගැන නියෝජිතයන්ට දැනුම් දෙන බවත්,සමස්ත ප්‍රතිඑලය ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී ප්‍රකාශ කරන බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා කියයි.

එමෙන්ම සමස්ත ඡන්ද ප්‍රතිඑලය රාත්‍රී අට, නවය පමණ වනවිට ලබාදීමට හැකිවනු ඇතැයිද පැවසීය.