News

ජනපතිවරණ වියදම කෝටි 600 පනී

ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි හයසියයකට (600) ආසන්න මුදලක් වැයවෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ඇස්තමේන්තු කර ඇත.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනා විට රුපියල් කෝටි හාරසියපනහක (450) මුදලක් අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව මහා භාණ්ඩාගාරයට දැනුම්දී තිබේ. එහෙත් ජනාධිපති ධුර අපේක්ෂකයන් තිස්පහ (35) දක්වා වැඩි වීම හේතුවෙන් එම මුදල තවත් ඉහළ යා හැකි බවට මැතිවරණ කොමිෂන් සභාව පුරෝකථනය කර තිබුණි.

ජනාධිතිවරණයට අවශ්‍ය ඡන්ද පෙට්ටි දසදහසක් (10000) විදේශීය රටවලින් ආනයනය කිරීමට සිදුවීම, ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට සිදුවීම, වහන වැඩි වශයෙන් ලබාගැනීමට සිදුවීම යන කරුණු මත තවත් රුපියල් කෝටි එකසියවිස්සක (120) මුදලක් අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව මහා භාණ්ඩාගාරයට දැනුම් දී ඇත.

ජනාධිපති ධුර අපේක්ෂකයන් විසින් ප්‍රදර්ශනය කරන පෝස්ටර්, කටවුට්, බැනර් ඉවත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවටද රුපියල් මිලියන හතළිස් හයක (46) මුදලක් වෙන්කර තිබේ.

ප්‍රදර්ශනය කරන පෝස්ටර්, කටවුට්, බැනර් ඉවත් කිරීම සඳහා කම්කරුවන් එක්දහස් හතළිස්පහක් (1045) බඳවා ගැනීමට නියමිත අතර සියලුම පොලිස් ස්ථානවලට ඔවුන් අනුයුක්ත කිරීමට නියමිතය. පොලිතින් යොදාගෙන සැරසිලි කිරීමේදී ජනාධිපතිවරණ පනතේ ප්‍රතිපාදනවලට අමතරව ජාතික පාරිසරික පනත් යටතේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රවල ප්‍රතිපාදනද අනුව කටයුතු කිරීමට පොලිසිය තීරණය කර ඇත. අදාළ පෝස්ටර්, කටවුට් ඉවත් කිරීම පොලිසියේ වගකීම බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

උදයජීව ඒකනායක