බැසිල්ට එරෙහි නඩුව නොවැම්බර් 28 වැනිදා කැදවයි
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනගුම සංවර්ධන අරමුදලට හිමි රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැය කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීම මගින් රජයේඅරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය සදහා නොවැම්බර් මස 28 වනදා කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (14) නියෝග කළේය.
මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී දැනට ඇප මත මුදාහැර සිටින නඩුවේ විත්තිකරුවන් වන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන අරමුදලේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට අනුව නඩුව ලබන නොවැම්බර් මස 28 වනදා විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරුවරයා දින නියම කළේය.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැයකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීම මගින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන අරමුදලේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබිණි.
අධිකරණ වාර්තාකරු
