රටක් තුළ පිහිටි ලෝකය; පාතාලය
අවිස්සාවේල්ලේ සිට වැල්ලම්පිටිය දක්වා ප්‍රදේශවල සාමාන්‍ය මට්ටමේ ව්‍යාපාරිකයන් පවා මේ දිනවල තම ව්‍යාපාර කරගෙන යා නොහැකි ගැටලුවකට මුහුණ පා සිටී. ඒ ආර්ථිකය කඩා වැටීම, බැංකු පොලී අනුපාත ඉහළ දැමීම වැනි ව්‍යාපාර ලෝකය හා සම්බන්ධ කිසිවක් නිසා නොව පාතාලයට කප්පම් දීමට සිදුව තිබීම නිසාය. මේ කප්පම් ගැනීමේ විශේෂත්වය වන්නේ ඒවා මෙහෙයවනු ලබන්නේ සිරගෙදර සිටින පාතාල සාමාජිකයන් විසින් නිසාය.
පාතාල ලෝකය යනුවෙන් මේ පුංචි දූපතේ තවත් ලෝකයක් නිර්මාණය වන්නේ 1980 දශකයෙන් පසුවය. ස්ත්‍රී දූෂකයන්ට සාමදාන විනිශ්චයකාර පදවි පිරිනැමීම, මැරයන් ලවා විද්වතුන්ට, භික්ෂූන් වහන්සේලාට පහර දීම, විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ගල් ගැසීම සිදුකරවා ගැනීම වෙනුවෙන් මැරයන්ට ආණ්ඩුවේ කොන්ත්‍රාත් ලබා දීම, පක්ෂවල ඉහළ තනතුරුවලට පත් කර ගැනීම මේ පාතාලයේ ආරම්භය ලෙස සැලකිය හැකි වේ. ඉන්පසු පක්ෂ, පාට, භේදයකින් තොරව පාතාලය හා දේශපාලනය අතර ගජමිතුරු සබඳතාවක් පැවතියේය.
කෙසේ වෙතත් 2010 න් පසු පාතාලයට හෙනහුරු දසාව උදා වූ අතර බොහෝ දෙනකු ආරක්ෂාව පතා විදේශයන්ට පලා ගියෝය. නමුත් මේ අයගෙන් ඇතැමකු දැන් යළි දිවයිනට සැපත්ව ‘සුවසේ’ තම ‘ජීවිකා වෘත්තියේ’ නියැළී සිටී. ඇතැමකු කප්පම් ගන්නේද, ඝාතන සිදුකරවන්නේද මෙරට සිරමැදිරිවල සිටය.
මෙරට පාතාලය කෙතරම් ශක්තිමත් වී ඇත්ද යත්, දැන් ඔවුන් දේශ සීමාව ඉක්මවා ජාත්‍යන්තර තලයටද පිවිස සිටිති. ඒ පාතාලය හා අනිවාර්ය සම්බන්ධයක් ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සමගිනි. අපේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම, වඳුරා ගෙවල් හදන්නා සේය. කලකට ඉස්මතුව කලකදී යටපත් වී යන්නේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා කියා ඇතත් ඔහුගේ ඒ කතාවද, ඔහුගේ අනෙකුත් කතා සේම ‘‘හොඳ කතාවක්’’ පමණක්ම විය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා කුඩුකාරයන් එල්ලන බවට තර්ජනය කළ දිනවල නිලධාරීහුද කඩිමුඩියේ කුඩු අල්ලන්නට පටන් ගත්හ. මේ නිසා රට තුළ උග්‍ර මත්ද්‍රව්‍ය හිඟයක් ඇති වූ නමුත් මේ දිනවල මත්කුඩු කොතෙක් සුලබ වී ඇත්ද යත් පාසල් දරුවන්ට පවා ඉතා පහසුවෙන් ඒවා මිලදී ගත හැකිය. එසේම කවුරුත් දන්නා හෙරොයින්වලට අමතරව තවත් නා නා ප්‍රකාර මත්ද්‍රව්‍ය වර්ගද සමාජය තුළ සංසරණය වෙමින් තිබේ.
මේ කුඩු ජාවාරම සමග තවත් ජාවාරමක් ගැටගැසී තිබේ. ඒ ආයුධ ජාවාරමය. උතුරේ යුද්ධය අවසන් වීමෙන් පසු පාතාලයට ආයුධ එන්නේ මත්ද්‍රව්‍ය තොග සමග බව මේ වන විට තහවුරු වී තිබේ.
අතීතයේ තමන්ට ලැබෙන ඝාතන කොන්ත්‍රාත් තමන්ම ඉටු කළ පාතාල සාමාජිකයන් දැන් කරන්නේ තමන්ට ලැබෙන ඝාතන කොන්ත්‍රාත් තවත් පිරිසකට උප කොන්ත්‍රාත් ලෙසින් භාරදීමය. මෙලෙස උප කොන්ත්‍රාත් ලබන්නේ වෙනින් කිසිවකු නොව හිටපු කොටි සාමාජිකයන්ය.
පසුගිය දිනෙක හංවැල්ලේ දෙදෙනකුට වෙඩි තබා එක් අයකු මරා දැමුවේත්, මේ ඊයේ පෙරේදා කොළඹ කොටහේනේදී පුද්ගලයකු මරා දැමුවේත් මේ සූත්‍රයට අනුවය. පොලිස් හෝ බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ සිටින තම ප්‍රතිවාදී කල්ලි සාමාජිකයන් ඝාතනය කරන්නට තරම් මේ ඇතැම් පාතාල කණ්ඩායම් බලවත්ය. ඒ අනුව වර්තමාන පාතාලය, අතීතයේ මෙන් මැරයන් විසින් තනිව කරනු ලබන මැර ක්‍රියාවලින් සමන්විත වූවක් නොව, ඉතා සංවිධානාත්මක, විදේශයන් දක්වා මුල් විහිදුණු විශාල පිරිවැටුමක් සහිත සංවිධාන ජාලයකි.
පාතාලය මර්දනය කිරීම හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පොරොන්දු බවටද පත්ව තිබේ. ඉන් පැහැදිලි වන්නේ පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම කොතරම් දුරකට අපේ සමාජය තුළ පැතිර ඇතිද යන්නය. පාතාලය විසින් රටේ ආරක්ෂාවට සේම ආර්ථිකයටද කරන බලපෑම සුළුපටු නොවේ. පාතාලයට කප්පම් ගෙවන ව්‍යාපාරිකයා ඒ පාඩුව පියවා ගන්නට උත්සාහ කරන්නේ ආණ්ඩුවට බදු වංචා කිරීමෙනි. අනෙක් අතට මත්ද්‍රව්‍ය ජාවාරම විසින් නිර්මාණය කෙරෙන කළු සල්ලි රටේ ආර්ථිකයට අනවශ්‍ය බරකි.
ජනාධිපති අපේක්ෂකයකු ජනතාවට ඉදිරිපත් කළ යුත්තේ තම පාලන කාලය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ප්‍රතිපත්තිය. පාතාලය මර්දනය කිරීම වැනි කාරණා ඉටු කිරීමට නව ප්‍රතිපත්ති අවශ්‍ය වන්නේ නැත. ඒ සඳහා දැනටමත් ප්‍රමාණවත් තරම් නීති රීති තිබේ. නීති ක්‍රියාත්මක කිරීමට ආයතන ව්‍යුහයක්ද, මානව සම්පතද තිබේ.
ප්රශ්නය ඇත්තේ කියන තරම් පහසුවෙන් එය කළ හැකිවේද යන්නය. පාතාලය යනු අපි දකිනවාට වඩා විශාල ලෝකයකි. අයිස් කන්දක මෙන් ඉන් පිටතට පෙනෙන්නේ ඉතා කුඩා කොටසකි. පාතාලයේ සහාය ලබන, ඊට අනුග්‍රහය දක්වන බොහෝ පිරිස් සිටින අතර ඉන් ප්‍රධාන කොටස වන්නේ දේශපාලකයන්ය. පාතාලයට එරෙහි සටන මේ සියල්ලට එරෙහි සටනකි.
