මාලඹේ එජාප රැලියේදී නොසන්සුන් තත්ත්වයක්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීම සඳහා මාලඹේ නගරයේ පෙරේදා (22 වැනිදා) පැවැති රැස්වීමේදී ඇමැති පාඨලී චම්පික රණවකගෙන් යම් ප්‍රශ්නයක් ඇසූ පුද්ගලයකුට එහි සිටි පිරිසක් පහරදී ඇතැයි වාර්තා වේ.
ඇමැති පාඨලී චම්පික රණවක රැස්වීම අමතන අවස්ථාවේදී එහි සිටි තරුණයකු රැස්වීම වීඩියෝ කරමින් ඇමැතිවරයාගෙන් යමක් ඇසීමට උත්සාහ කර ඇත. තමා ස්වාධීන මාධ්‍යවේදියකු යැයිද ඔහු පවසා තිබේ. එම අවස්ථාවේ එම පුද්ගලයා අසල සිටි පිරිස ඔහුට පහරදී ඇත. එලෙස පහරදීමත් සමග උණුසුම් තත්ත්වයක් උද්ගත වූ බව පැවසේ.
සිද්ධිය සැලවීමෙන් එම ස්ථානයට නුගේගොඩ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් ඇතුළු පිරිසක් පැමිණ තිබේ. ඒ වන විට සිද්ධියට මුහුණ පෑ තරුණයා පිටව ගොස් සිටි බව පොලිසිය පවසයි. කෙසේ වෙතත් පහරදීමේ සිද්ධිය පිළිබඳ මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැතැයි තංලගම පොලිසිය සඳහන් කර සිටී.
සාලිය කුමාර ගුණසේකර
