News

වතු කම්කරුවන්ගේ දීපවාලි උත්සව අත්තිකාරම වෙනුවෙන් පලනි දිගම්බරම් ඇමැති තනතුර පුදයි

දීපවාලි උත්සවය නිමිත්තෙන් වතුකම්කරුවන්ට ගෙවීමට නියමිත රුපියල් 15,000ක උත්සව අත්තිකාරම් මුදල් ලබාදීමට රජයේ ප්‍රබල ඇමැතිවරයකු විරෝධය පළකර ඇති නිසා කඳුරට, නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරම් මහතා සිය ඇමැති ධුරයෙන් ඉවත්වීමට යන බව වාර්තා වේ.

උත්සව අත්තිකාරම් මුදලෙන් රුපියල් 5000ක මුදලක් රජය විසින් ලබාදෙයි. මේවන විට එම මුදල රජය විසින් ලබාදී තිබේ. වතු හාම්පුතුන් විසින් තවත් රුපියල් 10,000ක මුදලක් ලබාදෙන අතර එම මුදල අත්හිටුවීමට රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු කටයුතු කර ඇති බව, ජාතික කම්කරු සංගමයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව කලකිරීමට පත්ව ඇති අමාත්‍ය පලනි දිගම්බරම් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව, අග්‍රාමාත්‍යවරයාටද දැනුම් දී තිබේ. තවද වතු කම්කරුවන්ගේ ඉල්ලීම්වලට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස යහපත් ප්‍රතිචාර නොදැක්වීමද මීට තවත් හේතුවක් වී ඇත.

ජාතික කම්කරු සංගමයේ නායකයන්ද මෙම තත්ත්වය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කර තිබේ. හැටන් බස්නැවතුම් පොළේ පැවැති ප්‍රචාරක රැලියකදීද අමාත්‍ය පලනි දිගම්බරන් සහ අනෙක් කැබිනට් අමාත්‍යවරයාගේ ගැටුම දක්නට ලැබුණු බවද සඳහන් වෙයි.

උදයජීව ඒකනායක