News

හෙරොයින් සැකකරුවන් 35702ක් මෙම වසර තුළ අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මේ වසර තුළදී සැකකරුවන් තිස්පන්දහස් හත්සිය දෙකක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ප්‍රධාන හෙරොයින් ජාවාරම්කරුවන් විසිහතර දෙනකුගේ දේපොළ රාජසන්තක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙනම ක්‍රියාවලියක් සිදුකරමින් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසීය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේදී ඊයේ (04 වැනිදා) පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය. මාධ්‍ය හමුවට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ද සහභාගි විය.

මේ වසරේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන්, දිවයිනේ පොලිස් ස්ථානවලින්, පොලිස් විශේෂ කාර්ය බළකායෙන්, නාවික හමුදාව ඇතුළු විවිධ ආයතනවලින් හෙරොයින් කිලෝ එක්දහස් හයසිය තිස් අටයි ග්‍රෑම් තුන්සිය අනූ හතක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඔහු කීවේය.

දේපොළ රාජසන්තක කිරීමට නියමිත හෙරොයින් ජාවාරම්කරුවන්ගෙන් කොටසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්,තවත් කොටසකට නිල නිවේදන නිකුත් කර තිබෙන බවත්, පිරිසකට රතු නිවේදන නිකුත් කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ගාල්ලේ සිට මාලදිවයින දෙසට වූ මුහුදු තීරය දක්වා වූ වෙරළ තීරයේ වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව අනාවරණය වන බවත්, මේ වසර තුළදී පමණක් නාවික හමුදාව රුපියල් බිලියන දහයකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් හත්සිය හැට තුනකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සාලිය කුමාර ගුණසේකර