News

මම රණසිංහ ප්‍රේමදාසගේ පුතා – ප්‍රේමදාසලා කියපු දෙයක් නොකර ඉඳලා නෑ

පියාණන් ජනාධිපති ධුරය දැරීම හැරුණුකොට ජනපති අපේක්ෂකයකු වීමට ඔබට ඇති සුදුසුකම් මොනවාද?

මම, මගේ පියා නිසා දේශපාලනයට ආපු කෙනෙක් නොවෙයිනේ. ඔහු ජීවත්ව සිටියදී මා කිසි විටෙක දේශපාලනයට ආවේ නැහැ. මගේ පියා මට සාමාන්‍ය දරුවෙකු ලෙස ජීවත් වෙන්න ඉඩ දුන්නා මිස කිසිවිටෙක ජනාධිපති පුතකු ලෙස හැසිරෙන්න ඉඩ දුන්නේ නැහැ. පියාගේ මරණයෙන් පසු දේශපාලනයට පැමිණි කෙනක් මම. අනෙක මා මේ වන විට වසර 25 ක කාලයක් දේශපාලනයේ සිටිනවා. මම දේශපාලනය කරන්න ලැබුණේ ප්‍රබල රාජපක්ෂ කඳවුරක් වූ හම්බන්තොට සිටයි. මම වලව්වෙන් දේශපාලනයට ආපු කෙනෙක් නොවෙයි. දුෂ්කර පළාතක ජීවත් වන අහිංසක මිනිස්සු සමග ගැටෙමින් ඔවුන්ගේ දුක, කඳුළ බෙදා ගනිමින් කටයුතු කරපු මට ඒ අයගේ දහඩිය සුවඳ, හද ගැස්ම හොඳට දන්නවා. ඊට වඩා රටේ නායකත්වය බාර ගන්න වෙන ඕන සුදුසුකම් මොනවාද? වලව්වකින් එන රාජ කුමාරයෙක් වීමද මේ රටේ නායකත්වය බාර ගන්න සුදුසුකමක් ලෙස ඔබ දකින්නේ.

දෙමළ සන්ධානය සහාය දෙන්නේ ඔබටයි. දෙමළ සන්ධානය ඉඩම් හා පොලිස් බලතල ඇතුළු ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර ඇති බව පැවසෙනවා. ඒ ගැන ඔවුන් ඔබ සමග කතා කළාද?

මා දෙමළ ජාතික සන්ධානය සමග විශේෂ සාකච්ඡාවක් කළේ නැහැ. ඔවුන් ඒ අයගේ කණ්ඩායම් සමග සාකච්ඡා කරලා මේ තීන්දුව අරගත්ත බව තමයි මට දැනගන්න තියෙන්නේ. ඔවුන් මට සහාය දුන්නා කියලා දැනට ක්‍රියාත්මක නොවන බලතල ක්‍රියාත්මක කරන්නේ නැහැ. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මා සඳහන් කළේ මාතෘභූමියේ ඒකීයත්වය, භෞමික අඛණඩතාව, ස්වෛරීත්වය සහ දේශපාලන ස්වාධීනත්වය ආරක්ෂා කරමින් සියලු දේ කරන බවයි. අනෙක මේ සියලු කටයුතු අප කරන්නේ මගේ පියා වන රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් ඉදිරිපත් කර ඇති යෝජනා සැලකිල්ලට අරගෙනයි.

කාන්තාවන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ ඔබ කළ ප්‍රකාශය රටේ දැඩි ආන්දෝලනයකට පත්වුණා. එවැනි දෙයක් කතා කරන්න ඔබට ලද දත්ත මොනවාද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක සඳහන් වෙනවා ගැහැනු ළමුන්ගෙන් සියයට 50කට වඩා පිරිසක් ආර්ථවය ඇති දිනවල පාසල් යන්නේ නැහැ කියලා. මේ ප්‍රශ්නය නිසා ගැටලුවට පත් වන කාන්තාවන් 70% ක් සිටිනවා. සමීක්ෂණ පෙන්වා දී තිබෙනවා සුදුසු සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන්නේ 30% ක් පමණයි කියලා. මේ නිසා අපේ මව් පරපුර, අපේ සහෝදරියන් තමන්ගේ ජීවිත කාලය තුළ වකුගඩු රෝගයට ලක් වෙනවා. ගැබ්ගෙල පිළිකා වගේම, ප්‍රජනන ප්‍රදේශ ආසාදනයට ලක් වෙනවා. මෙවැනි ප්‍රශ්න තිබෙන කොට රටක පාලකයෝ ලෙස අපට නිහඬව බලා සිටින්න බැහැ. මව් කැක්කුම, සහෝදර කැක්කුම දන්න, කාන්තාවගේ දුක තේරෙන අපි මේ ප්‍රශ්නවලට තිරසර විසඳුම් ලබා දෙන්නයි මේ ගැන කතා කළේ.

ඇමෙරිකානු ගිවිසුම අනුමත කරන කැබිනට් එකේ ඔබත් සිටියා. දැන් ඒ සම්බන්ධයෙන් විරෝධයක් මතුවී තිබෙනවා. ඔබ ජනාධිපති වූ පසු ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?

ආණ්ඩුව හා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහස්‍ර සහයෝගීතා සමාගම අතර අත්සන් තැබීමට නියමිත ගිවිසුම ලබන 16 දා දක්වා කිසිදු ලෙසකින් අත්සන් නොතැබීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරණයෙන් පසුව හෝ එම ගිවිසුම අත්සන් කරන්නේ නම් පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත සංවාදයකින් පසුවයි. එමෙන්ම කිසිදු ලෙසකින් රටට අහිතකර ගිවිසුමකට මා විසින් එළැඹෙන්නේ නැහැ. මේ පිළිබඳව ඉදිරි කටයුතු සිදුවන්නේ ගෞරවනීය මහා සංඝරත්නය සමග සාකච්ඡා කොට අවවාද, අනුශාසනා ගැනීමෙන් අනතුරුවයි.

රාජ්‍ය පාලනයට උගත් බුද්ධිමත් තරුණ කොටස් සම්බන්ධ කරගැනීමට ඔබ ඉදිරිපත් කර ඇති සැලැස්ම ප්‍රායෝගිකද?

මම හැමදාම කතා කළේ කරන්න පුළුවන් දේ පමණයි. පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය, නිල ඇඳුම් කට්ටල දෙකක් හා සපත්තු කුට්ටමක් දෙන්නේ උගත්, බුද්ධිමත් සමාජයක් බිහි කිරීම උදෙසායි. නව තාක්ෂණ විද්‍යාල සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඉදිකරන්නේත් මෙම පරමාර්ථය පෙරදැරි කරගෙනයි. යොවුන් පරපුර දැඩි රුචිකත්වයක් දක්වන්නේ ඩිජිටල් ආර්ථිකයකට යන්නයි. අපි උදව් කරන්නේ එතැනට යන්නයි. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා සැපයීමේ වැඩපිළිවෙළත් අපි නොකඩවා කරගෙන යනවා. යෞවන යෞවනියන්ගේ රැකියා අවස්ථා පුළුල් වන අන්දමට කුසලතා, තාක්ෂණික කුසලතා හා ජීවන (මෘදු) කුසලතා පුහුණු පවත්වන විශිෂ්ටත්වයේ මධ්‍යස්ථාන රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඉදි කරනවා. ඒ ඔස්සේ උගතුන්ට, බුද්ධිමතුන්ට, රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වෙනවා.

කාන්තාවන් රට යැවීම, ලිංගික ප්‍රචණ්ඩත්වය ආදී කරුණු ඉතාම බරපතළයි. මේ සම්බන්ධයෙන් ඔබ ගන්නා ක්‍රියාමාර්ග කවරේද?

විදෙස්ගත කාන්තාවන් නිසා තමයි අපේ රටට වැඩියෙන්ම විදේශ විනිමය ලැබෙන්නේ. නමුත් කාන්තාවන් විදේශගත වුණාම දරුවන්ට ගැටලුවක් තිබෙනවා. ඉතින් ඒ ප්‍රශ්නය විසඳන්න අපි නව වැඩපිළිවෙළක් හඳුන්වා දෙනවා. කාන්තාව කියන්නේ උතුම් මව් පදවිය දරන කෙනායි. අපි හැමෝටම මවක් සිටිනවා. ඒ නිසා කාන්තා ප්‍රචණ්ඩත්වයට ඉඩ තබන්නේ නැහැ. කාන්තාවන් සියයක් දූෂණය කරලා ඒ වෙනුවෙන් උත්සව පැවැත්වූ ප්‍රාදේශීය සභා සභාපතිවරයා කවුද කියලා කවුරුත් දන්නවා. එවැනි දේට අපි ඉඩ තියන්නේ නැහැ. කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහිව දැනට පවතින නීතිරීති දැඩි කරන්න මා කටයුතු කරනවා. ඒ වෙනුවෙන් වෙනම ඒකකයක් පිහිටුවන්නත් මා බලාපොරොත්තු වෙනවා.

අප උග්‍ර ණය බරකින් යුතු රටක් වුවත් දේශපාලනඥයන් මිල අධික වාහන භාවිත කරනවා. ඔබ බලයට පත්වූ පසු එය වෙනස් කරනවාද?

කිසිම දේශපාලනඥයෙකුට මගේ ආණ්ඩුව යටතේ මිල අධික වාහන ගේන්න ඉඩක් නැහැ. අපේ රටේ සම්ප්‍රදායක් තියෙනවා අලුත් ආණ්ඩුවක් පත්වුණාම අලුත් වාහන ගෙන්වන. ඒ යුගය අපි අවසන් කරනවා. මැති ඇමැතිවරුන්ට, නිලධාරින්ට අවශ්‍ය තරම් වාහන රාජ්‍ය ආයතනවල තියෙනවා. මේ ආදර්ශය දෙන්නේ මගෙන්. මගේ ප්‍රයෝජනයට වෙඩි නොවදින හෝ වෙඩි වදින හෝ අලුත් වාහන ගෙන්වන්නේ නැහැ. ඒ වගේම එවැනි වාහන අගමැතිට, ඇමැති මණ්ඩලයට ගේන්නෙත් නැහැ. මගේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු දුෂ්කරක්‍රියා කළ යුතුයි. ආණ්ඩුව දුක් විඳන්න ඕනේ, ජනතාව සැප විඳින්න ඕනේ. අපි දුක් විඳලා රට හැදුවොත් එහි ප්‍රතිලාභ හැමෝටම භුක්ති විඳින්න හැකිවේවි.

ලෝකයේ දියුණු රටවල දක්නට ලැබෙන සමාජ සමානාත්මතාව අප රට තුළද ගොඩනැගීමට ඔබගේ රජයකින් කටයුතු කරනවාද?

ඔව්. ඒක නිසානේ මැති ඇමැතිවරු කැපකිරීම් කරන්නේ ජනතාවට සුඛිත මුදිත රටක් නිර්මාණය කරන්න. අනෙක මගේ පාලනය යටතේ රජයේ මැති ඇමැතිවරුන් විසින් අන්තර්ජාලය ඔස්සේ වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශයට පත් කිරීම අත්‍යවශ්‍ය කරුණක්. එමගින් මහජනයාට ඔවුන් වගවීම කෙරෙහි යොමු කර තබා ගත හැකියි. අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම මේ වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳ අධ්‍යයනය කළ යුතුයි. දේශපාලන ක්ෂේත්‍රය එලෙස ජනතාව හා සමාන කරද්දී අනෙක් පැත්තෙන් දුප්පත් ජනතාව නගා සිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ආදායම් බෙදීයාමේදී සැමට එක ලෙස සැලකීමේ ක්‍රමවේදයක් අනුගමනය කරනවා. නීතියේ සමානාත්මතාව ඇති කරනවා. නැති බැරි අය ඇති හැකි අය කිරීමේ වැඩපිළිවෙළ තුළ ආර්ථික සමානතාව ඇති කළ හැකියි. මහජනයා වෙනුවෙන් රාජ්‍ය සේවයක් ඇති කිරීමෙන් ජනතාවට පහසුවෙන් කටයුතු කරගත හැකි වෙනවා. එම නිසා රජයත් ජනතාවත් සමාන වන විට පෞද්ගලික අංශයත් එතැනට ගමන් කරාවි.

ජිනීවා මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය කවරේද?

රටට අහිතකර කිසිදු යෝජනාවකට මම එකඟ වෙන්නේ නැහැ. යුද්ධය අවසන් කිරීමට දායක වූ කිසිදු රණවිරුවෙක්ට ජාත්‍යන්තර අධිකරණ හමුවට යන්න ඉඩ තබන්නෙත් නැහැ. නමුත් රණවිරුවෝ ජාත්‍යන්තරය ඉදිරියේ පාවා දුන්නේ කවුද? පහුගිය දවසක මගේ ප්‍රතිවාදියා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මොකක්ද කිව්වේ? යුද්ධය කළේ මමවත් අයියවත් නොවෙයි, ඒ නිසා යුද්ධයේදී වූ සෑම දෙයකම වගකීම යුද හමුදාපති බාරගන්න ඕනා කියලයි. ඇයි එයා රණවිරුවන් ආරක්ෂා කරන්න පිළිතුරක් දුන්නේ නැත්තේ? මගෙන් යුද්ධය ගැන හෝ රණවිරුවෝ ගැන ඇහුවා නම් මගේ පිළිතුර වෙන්නේ යුද්ධය සමයේ යම් දෙයක් වුණා නම් එහි වගකීම මම භාර ගන්නවා කියලයි. හැබැයි ඇහුවොත් එයාලගේ දේශප්‍රේමය අනන්තයි අප්‍රමාණයි. හැබැයි ඇමෙරිකානු පුරවැසිකම ආරක්ෂා කරගන්න ජාත්‍යන්තරය ඉදිරියේ රණවිරුවෝ පාවා දෙනවා.

චීන සහ ඇමෙරිකානු බලපෑමට ලංකාව නතුවෙලා, යහපාලන ආණ්ඩුවටත් චීනෙන් මිදෙන්න බැරි වී වරාය දෙන්න පවා සිදු වුණා. ඔබ ජනාධිපති වූ පසු ස්වාධීනත්වය තබාගෙන කටයුතු කරන්නේ කෙසේද?

කිසිම රාජ්‍යයක බලපෑමකට යටත් වෙලා කටයුතු කරන්න මම ලැහැස්ති නැහැ. නිසි විදේශ ප්‍රතිපත්තියකට අනුව තමයි මගේ රජය කටයුතු කරන්නේ. අපගේ ජාත්‍යන්තර සබඳතා පදනම් වන්නේ සියල්ලන් සමග මිත්‍රත්වය, කිසිවකු සමග සතුරු නොවීම යන පදනම මත සිටයි. වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධනය සඳහා අපගේ ජාතික අවශ්‍යතා සඳහා ඔවුන් දක්වන දායකත්වය මත සියලු රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නිරන්තරයෙන් ඇගයීමට ලක් කරනවා. එම නිසා කිසිදු රජයක් සමග අපේ රටට අවාසි වන කිසිදු ගිවිසුමකට අපි එළැඹෙන්නේ නැහැ. අපි කටයුතු කරන්නේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදියි. එකක් කිව යුතුයි. චීනයට අපි වරාය දීලා නැහැ. එය බදුදීමක් පමණයි කර තිබෙන්නේ. මොකද මේ ආයතන හදන්න වැය වන මුදලට වඩා වැඩි මුදලක් ණය ලෙස අරගෙන තිබෙනවා. එය පැහැදිලිව කෝප් කමිටුවේදි පහුගිය දිනක හෙළි වුණා. එවැනි දේ අපේ රජයක් යටතේ වෙන්නේ නැහැ.

ඔබ තවමත් අතීතයේ සිටින කෙනෙක් බවට ප්‍රබල චෝදනාවක් නැගෙනවා. නවීන ලෝකයට අප රට ගෙන යෑමට ඔබට හැකි වේවිද?

ඔබ මගේ මෙගා මයින්ඩ් වැඩසටහන නැරඹුවේ නැද්ද? මගේ පළමු මෙගා මයින්ඩ් වැඩසටහන නැරඹුවා නම් ඔබට දැකගන්න ලැබෙනවා නව තාක්ෂණය ඔස්සේ රාජ්‍ය ආයතන හා සම්බන්ධ වී ජනතාවගේ ගැටලු ජනාධිපතිවරයා විසඳන්නේ කොහොමද කියලා. ඊ රාජ්‍ය සේවය හෙවත් විද්‍යුත් රාජ්‍ය පාලනය අපි හඳුන්වා දෙන්නේ රාජ්‍ය සේවය නව තාක්ෂණයට සකස් කරවීමටයි. නව තාක්ෂණ විද්‍යාල, තාක්ෂණික උද්‍යාන බිහි කරන්නේ නව තාක්ෂණය අනුව ආර්ථිකය ඉදිරියට ගෙන යාමටයි. ඩිජිටල් ආර්ථිකයක් මත තමයි අද ලෝක ආර්ථිකය රඳා පවතින්නේ. ඩිජිටල් විප්ලවය මහපොළොවේ යථාර්ථයක් කරවන්න තමයි තාක්ෂණ උද්‍යාන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ආරම්භ කරන්නේ.

ඔබේ රජයකින් දූෂිතයන්ට දඬුවම් හිමිවන, නීතිය නොනමන, සාධාරණ යුක්තිය ඉටුවන යුගයක් බලාපොරොත්තු විය හැකිද?

හොරුන්ට, දූෂිතයන්ට මගේ ආණ්ඩුවේ ඉඩක් නැහැ. මම ඒක පැහැදිලිව කියලා තියෙනවා. ජනතාවගේ මුදල් හොරකම් කරන දේශපාලඥයන්ට නිලධාරීන්ට දැඩි දඬුවම් දෙන නීති පද්ධතියක් සකස් කරනවා. රටට වින කරන, රට විනාශ කරන බලවේගවලට, දූෂිත කම්බ හොරුන්ට මගේ ආණ්ඩුවේ තනතුරු දෙන්නේ නැහැ. එහෙම තනතුරු දෙන පත්වීම් ලිපියකට මගේ අත්සන නම් ගන්න ලැබෙන්නේ නැහැ.

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඔබගේ පක්ෂයට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඒ ගැන ඔබගේ ස්ථාවරය කුමක්ද?

බැඳුම්කර සිද්ධිය ගැන රහස් පොලිසියෙන් පරික්ෂණයක් පැවැත්වූවා. ඒ වගේම ජනාධිපති කොමිසමකින් පවා පරික්ෂණයක් පැවැත්වූවා. ඒවායේ වාර්තා අනුව යම් යම් නිර්දේශ ලබාදී තිබෙනවා. අනෙක එහි කියා තිබෙනවා බිලියන ගණනක අලාභයක් ඉකුත් රජය සමයේත් සිදුව තිබෙනවා කියලා. ඉතින් මේ සියලු කාරණා ගැන මා ජනාධිපති වූ පසුව යළි අධ්‍යයනය කර අවශ්‍ය නීති උපදෙස් ගෙන කළයුතු දේ කුමක්ද කියා තීරණය කරනවා.

ඔබට මෙවර සහයෝගය දෙන කණ්ඩායම 2015 වසරේ දී ද ජනාධිපතිවරයකු පත් කර ගැනීමට මැදිහත් වුවත් බලාපොරොත්තු වූ කාරණා ඉටුකර ගැනීමට නොහැකි වුණා. ඔබ කෙරේ විශ්වාසය තබන ජනතාවට ඔබට සහතිකයක් දිය හැකිද?

ජනතාව බලාපොරොත්තු වූ බොහෝමයක් කාරණා ඉටුකර ගැනීමට නොහැකි වූ බව ඇත්ත. නමුත් ඒවාට හේතුවූ තවත් කාරණා තිබුණා. විශේෂයෙන්ම තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නොතිබීමද මෙයට බලපෑ ප්‍රධාන කරුණක්. එම නිසා තමයි අපි මෙවර මැතිවරණයේදී තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්න අවස්ථාව ඉල්ලන්නේ. මම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුතා. ප්‍රේමදාසලා කියපු දෙයක් නොකර ඉඳලා නැහැ. ඒ නිසා මා දුන් පොරොන්දු ලබන 16 දායින් පසු යථාර්ථයක් බවට පත් කරනවා.

දීප්ති ප්‍රමිතා අධිකාරි