News

2015න් පසුව විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් ලක්ෂයකට විශ්‍රාම වැටුප්

2015 වර්ෂයෙන් පසු විශ්‍රාම ගිය ලක්ෂයකට ආසන්න රාජ්‍ය සේවකයන් සඳහා 2020 වන විට පවතින මූලික වැටුපට අදාළව විශ්‍රාම වැටුප ලබාදීම සඳහා අනුමැතිය ඉල්ලා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ.

සංශෝධිත විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට අනුවද මෙම විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප හිමිවන අතර, මේ සඳහා රජය රුපියල් බිලියනයක අතිරේක මුදලක් වැය කිරීමට නියමිතය.

රාජ්‍ය සේවකයන්ගේ විවිධ ක්ෂේත්‍රවලට වසර 2020 වන විට ලැබී ඇති වැටුප වර්ධක, දීමනාද මෙම රාජ්‍ය සේවකයන් ලක්ෂයටද හිමි වෙයි. වසර 2016දී රාජ්‍ය සේවකයන් 22525ක්ද, වසර 2017දී රාජ්‍ය සේවකයන් 24000ක්ද, වසර 2018දී රාජ්‍ය සේවකයන් 26000ක්ද විශ්‍රාම ගොස් තිබේ.

මේ අතර පරිගණක දැනුම පිළිබඳ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන ලද ග්‍රාම නිලධාරීන්ගේ පුහුණු වියදම් ප්‍රතිපූර්ණය කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. අමාත්‍ය වජිර අබේවර්ධන විසින් මෙම අමාත්‍ය මණ්ඩල සංදේශයද ඉදිරිපත් කර ඇත.

තුන්වන ශ්‍රේණියේ ග්‍රාම නිලධාරීන් පත්වීම් දින සිට වසර තුනක් ඇතුළත පරිණත දැනුම පිළිබඳ අවශ්‍යතාවන් සම්පූර්ණ කරන ලද නිලධාරීන් දරන ලද පුහුණු වියදම් ප්‍රතිපූර්ණය කිරීමක් ලෙස රුපියල් 7000ක දීමනාවක් ලබාදීමට මෙම අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් යෝජනා කර ඇත.

උදයජීව ඒකනායක