News

7වැනි  විධායක ජනාධිපති තෝරන ජනාධිපතිවරණය හෙටයි – සවස දෙකට පෙර ඡන්දය දාන්න

මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා තේරීමට හෙට (16 වැනිදා) පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පස්වරු දෙකට පෙරවත් අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු හෙට (16 වැනිදා) පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.

දහවල් 11 ත් පස්වරු 2 ත් අතර කාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවක් දක්නට ලැබෙන බවත්, ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය දීර්ඝ කිරීම පිළිබඳව නොසිතා පස්වරු 2 ට පෙරවත් ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී.
වේලාසනින් ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් එය මැතිවරණ නිලධාරීන්ගේ කටයුතුවලට පහසුවක් වන බව ඔහු කියයි.

ඡන්ද මධ්‍යස්ථානයට පැමිණීමේදී අනිවාර්යයෙන්ම අනන්‍යතාව තහවුරු කරන හැඳුනුම්පතක් රැගෙන ආ යුතුය. මධ්‍යස්ථානය ඇතුළතදී ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීම සපුරා තහනම්. එවැනි කටයුත්තක් සිදුවුවහොත් පොලිසියට දැනුම්දී කටයුතු කෙරෙනු ඇත.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් එක්කෝටි පනස් නවලක්ෂ අනූ දෙදහස් අනූහය (15,992,096) දෙනකු සුදුසුකම් ලබා සිටිති.

මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙකට (22) අයත් ඡන්ද මධ්‍යස්ථාන දොළොස්දහස් අටසිය හතළිස් පහකදී ඡන්දය විමසීම සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයන් තිස්පස් දෙනෙකු තරග කරති. ඒ හේතුවෙන් ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් 26 කි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, සමරවීර වීරවන්නි, කැටගොඩ ගමගේ ජයන්ත පෙරේරා, සිරිතුංග ජයසූරිය, බත්තරමුල්ලේ සීලරතන හිමි, අජන්තා විජේසිංහ පෙරේරා, සමන්සිරි හේරත්, ඒ.එස්.පී. ලියනගේ, එම්.කේ. සිවාජිලිංගම්, වැලිසරගේ සමන් ප්‍රසන්න, සිරිපාල අමරසිංහ, බැද්දගමගේ නන්දිමිත්‍ර, සරත් විජිත කුමාර කීර්තිරත්න, අශෝක වඩිගමංගාව, දුමින්ද නාගමුව, අජන්ත ද සොයිසා, පොල්ගම්පල රාලලාගේ චමින්ද අනුරුද්ධ, මිල්රෝයි සර්ජියස් ප්‍රනාන්දු, අහමඩ් හසන් මොහොමඩ් අලෙවි,රොහාන් පල්ලෙවත්ත, නාමල් රාජපක්ෂ, අපරැක්කේ පඤ්ඤානන්ද හිමි, වජිරපානි විජේතුංග, අරුණද සොයිසා, මහමුද් ලෙබ්බේ මහමුද්, ඉල්ලියාස් අහිදිරුයිස්, පියසිරි විජේනායක, රජීව් විජේසිංහ, සරත් මනමේන්ද්‍ර, සුබ්‍රමනියම් ගුණරත්නම්, මහේෂ් සේනානායක, ප්‍රියන්ත මුනියන් එදිරිසිංහ, ආරියවංශ දිසානායක යන අය ජනාධිපති අපේක්ෂකයන් ලෙස තරග කරති.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 41 දෙනකු ඇප මුදල් තැන්පත් කරනු ලැබූ අතර, නාමයෝජනා පත්‍ර භාර දෙනු ලැබුවේ අපේක්ෂකයන් 35 දෙනෙකු පමණි.

ජනාධිපතිවරණයේ ඡන්දය විමසීමේ කටයුතු පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කීවේය.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන එක්දහස් පන්සිය පනස් පහකදී ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

මෙවර මැතිවරණ කටයුතු සඳහා රජයේ නිලධාරීන් ලක්ෂ දෙකහමාරකට අධික පිරිසක් යොදවා ඇතැයිද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කීවේය. මෙවර මැතිවරණය සඳහා රුපියල් කෝටි 750 ක් පමණ වැය වෙතැයි ගණන් බලා ඇත.

ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය 17 වැනිදා රාත්‍රී හෝ 18 වැනිදා නිකුත් කළ හැකිවේයැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 60,000 කට අධික පිරිසක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසීය.
මීට අමතරව ආරක්ෂක කටයුතු සඳහා සිවිල් ආරක්ෂක බළකාය සහ පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

සාලිය කුමාර ගුණසේකර