News

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර තවදුරටත් රිමාන්ඩ්

පාස්කු ඉරු දින ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මගින් සාපරාධි ආකාරයට රාජකාරිය පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන දෙසැම්බර් මස 03 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (19) නියෝග කළේය.

මෙම නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකපිට බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණ වල ප්‍රගතිය පිළිබඳව රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාර හෙමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බව දන්වා සිටියහ. එම විමර්ශනවලදී සැකකාර හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නමින් රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවල මෙන්ම මූල්‍ය ආයතන වල ගිණුම් කිසිවක් නොමැති බවට කරුණු අනාවරණය වූයේ යැයිද පොලිසිය සඳහන් කර සිටියේය. ඊට අමතරව සැකකාර පූජිත ජයසුන්දර මහතාගේ නමින් බැංකුවල ගිණුම් පහක් පවතින බවට තොරතුරු හෙළි වී තිබෙන බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.

ඊට අමතරව සැකකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර වාර්තාවක් ලබාගෙන විමර්ශන සිදුකළ බවත් ඔවුන් දෙදෙනා පාස්කු ඉරිදා එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සහ මියගිය සැකකරුවන් සමඟ සම්බන්ධතාවක් පවත්වා නොමැති බවට කරුණු අනාවරණය වී තිබෙන බව ද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනාම ලබන 03 වන දා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය. එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා විසින් රහස් පොලිසියට නියෝග කරන ලදී.

(අධිකරණ වාර්තාකරු)