News

ජනාධිපතිවරණයේදී නිදහස් පාක්ෂිකයන් තිස් දහසක් සජිත් සරණ ගිහින්

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කළත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය ලබාදුන් තිස් දහසකට වැඩි පිරිසක් ඡන්දය ලබාදී නොමැති බව වාර්තා වේ.

එම ඡන්ද ප්‍රමාණය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස හිමිකර ගෙන ඇති බව ප්‍රතිඵල විශ්ලේෂණයේදී පැහැදිලි වේ.

මැදිරිගිරිය ආසනයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද 23,724ක් හිමි වූ අතර, නිදහස් පක්ෂයට ඡන්ද 20,974ක්ද, එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 13,017ක්ද හිමිවිය. එහෙත් ජනාධිපතිවරණයේදී එම ආසනයෙන් පොදුජන පෙරමුණට ඡන්ද 34,022ක් ලැබුණු අතර ඡන්ද 14,693ක් පළාත් පාලන මැතිවරණයට වඩා එක්සත් ජාතික පක්ෂය වැඩිකර ගැනීමට ජනාධිපතිවරණයේදී සමත් වී ඇත.

මේ අතර පොළොන්නරුව ආසනයෙන් පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණට ඡන්ද 40,771ක්ද, නිදහස් පක්ෂයට ඡන්ද 48,300ක් හා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 32,411ක් වශයෙන් හිමිවිය. එහෙත් ජනාධිපතිවරණයේදී එම ආසනයෙන් ගෝඨාභය රාජපක්ෂට ඡන්ද 62,882ක් හිමිවූ අතර, එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයට වඩා ඡන්ද 21,875ක් වැඩිකර ගැනීමට ජනාධිපතිවරණයේදී සමත් වී ඇත.

චමින්ද සේනාරත්න