News

මහ ඡන්දෙට පොහොට්ටුවෙන් ආවොත් තුනෙන් දෙක ෂුවර්

ඉදිරි මහමැතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරග කළහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අනිවාර්යයෙන්ම ලබාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවැසීය.

පොහොට්ටුව ලකුණ ජනතා හදවත්වලට ප්‍රබල ලෙස කාවැදී ඇතැයිද මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සියලු පක්ෂ ඒකාබද්ධව පොහොට්ටුව ලකුණින් තරග කිරීම වාසියක් වන බවද හෙතෙම කීවේය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළ මන්ත්‍රීවරයා මෙය තමන්ගේ පෞද්ගලික මතය යැයිද කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ කිහිපයක් සමග සන්ධානගතව මහමැතිවරණයට ඉදිරිපත් වීමට ඇති කර ගත් එකඟතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දුන් මාධ්‍ය හමුවට එක්ව සිටි පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහමැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව සඳහන් කළේය.

නිලන්ත මදුරාවල