News

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ගැටළු විසඳන්න ජනපතිගෙන් අලුත් වැඩපිළිවෙළක්

ඉකුත් වසර තුන හමාර තුළ විටින් විට ඉල්ලීම් සිදු කෙරුණ ද මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ මෙතෙක් නොවිසඳුණ ගැටලූ විසඳීමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ සඳහා කැබිනට් උප කමිටුවක් ද පත් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පවතින ගැටලූ පිළිබඳ අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

ක්ෂේත‍්‍රයේ දීර්ඝ කාලයක් පුරා පවතින මෙම ගැටලූ විසදීමේ දී වඩා ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට නව රජය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සදහන් කළා.

නීති විරෝධි පතල් කැණීම් සම්බන්ධ වැටලීම් මෙන්ම ව්‍යාජ මැණික් අලෙවිකරන්නන් වැටලීම් පිළිබඳව ද මෙහි දී විශේෂ සාකච්ඡාවට බදුන් වූ අතර ඉකුත් වසරක් තුළ එම වැටලීම් පිළිබඳ වාර්තාවක් ලබන සතිය වන විට තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල පතල් කැණීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම, කුඹුරු ඉඩම් පතල් කැණීම් සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති චක‍්‍රලේඛය, යාන්ති‍්‍රක පතල් කැණීම් සඳහා අවසර ලබාදීම, පතල් කැණීම් සිදුකිරීමෙන් අනතුරුව පතල් වසා දැමීමට කටයුතු නොකිරීම, මැණික් පතල් කැණීම් බලපත‍්‍රය ලබාගැනීම සඳහා ගතවන කාලය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කෙරුණා.