විපක්ෂ නායක ධුරය සහ පක්ෂ නායකත්වය ඉල්ලා සජිත් පිල සටනට
විපක්ෂ නායක ධුරය සහ පක්ෂ නායකත්වය ඉල්ලා සටන් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය තීරණය කර තිබේ.
ඔවුන් එම තීරණයට එළඹ ඇත්තේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරගේ නිවසේ පෙරේදා (02 වැනිදා) පැවැති සාකච්ඡාවේදීය.
සාකච්ඡාව පිළිබඳ කොළඹ වොක්ෂ්වෝල් වීදියේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවසුවේ, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ලබන සිකුරාදා සිට යළි දේශපාලන කටයුතු අරම්භ කරන බවය.
මාධ්‍ය හමුවට හරීන් ප්‍රනාන්දු, හේෂා විතානගේ, ආචාර්ය හර්ෂ ද සිල්වා, චමින්ද විජේසිරි, නලීන් බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටියහ.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය මෙම සතිය ඇතුළත විපක්ෂ නායක ධුරය හා පක්ෂ නායකත්වය ගැන හරි තීන්දුවක් ගැනීමට කටයුතු කරන බවට තමා විශ්වාස කරන බවය.
එසේ නොවුණහොත් විකල්පයකට යෑමට සිදුවන බවද, පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අවාධාරණය කළේය.
එසේම ඉදිරි දින කිහිපය තුළ පක්ෂ නායකත්වය හා විපක්ෂ නායක ධුරය සම්බන්ධව ස්ථාවර විසඳුම් පක්ෂය විසින් දෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
වරුණි පෙරමුණ
