News

ආනයනික තිරිඟු පිටි බද්ද ඉවතට – තිරිඟු පිටි කිලෝග්‍රෑමයකට රු. 8ක විශේෂ බද්දක්

ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට මෙතෙක් පැවැති රුපියල් 36 ක ඒකාබද්ධ තීරුබද්ද ඉවත් කර ඒ වෙනුවට කිලෝග්‍රෑමයකට රුපියල් 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දී තිබේ.

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මඟින් දෙසැම්බර් මස 14 වන දින සිට මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වෙයි.

පිටි කිලෝග්‍රෑමයක් සඳහා රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කිරීම හේතුවෙන් පිටි ආනයනය කර තරඟකාරී මිලට බෙදාහැරීමට ඕනෑම ව්‍යාපාරිකයකුට අවසරය දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

වෙළෙඳපොලේ ඉහළ ගිය සහල් මිල පාලනය කිරීම සඳහා සම්බා සහ නාඩු සහල් කිලෝග්‍රෑමයකට රුපියල් 98 ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද අතර, තිරිඟු පිටි ආනයනය කිරීමට අවස්ථාව සලසමින් තිරිඟු පිටි සඳහා පැවැති බදු අඩුකිරීමට ද තීරණය කරන ලදි.