නත්තල් දා සුරාසැල් අරිනවාට කාදිනල්ගේ කනගාටුව
එළැඹෙන නත්තල් දිනයේදී සුරාසල් විවෘත කර තැබීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳ තමන් වහන්සේ ඉතා කනගාටු වන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවැසූහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කොට සිටියේ වසරේ නත්තල් පණිවුඩය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹ අගරදගුරු මැදුරේ ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ය.
‘අපේ රටේ සෑම ආගමික උත්සවයකදීම සුරාසල් වසා තිබීම සාමාන්‍ය දෙයක් වුණත් මෙවර නත්තල් දවසේ මත්පැන් අලෙවිසල් විවෘත කොට තියන්න රජය තීරණය කරලා තියෙනවා. මේ හරහා සමාජයට වැරදි අදහසක් එන්න පුළුවන් නත්තල මත්පැන් බීම සඳහා තියෙන උත්සවයක් කියලා.’ උන්වහන්සේ කීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම පිළිබඳ අදහස් දැක්වූ කාදිනල් හිමිපාණෝ එය කාගේ අතින් සිදු වූ වරදක්ද යන්න සෙවීමට වඩා කාගේ වුවමනාවකට එය සිදුවීමක්ද යන්න සෙවීම වඩාත් වැදගත් බව කියා සිටියහ. මෙවර නත්තල් උත්සවයට අදාළ දිව්‍ය පූජා සඳහා රජයෙන් අමතර ආරක්ෂාවක් ඉල්ලා සිටින බව කාදිනල් හිමිපාණෝ පැවැසූහ. තමන් වහන්සේ විසින් පවත්වන නත්තල් දින මධ්‍යම රාත්‍රී දේව මෙහෙය මෙවර මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ පවත්වන බවත් එය පාස්කු ප්‍රහාරයෙන් දැඩි පීඩාවට පත් වූ ජනතාව සමග සමස්ත කතෝලික ප්‍රජාවම සිටින බව පෙන්නුම් කිරීමක් බවත් කීහ.
කලණ වීරසිංහ
