News

ජනපතිගේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමින්.

මෙම තහනම් නියෝග ලබන දෙසැම්බර් මස 7 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර පෙත්සම් විභාගය දෙසැම්බර් මස 4, 5 සහ 6 යන දිනවල පවත්වන බවද අධිකරණය තීන්දු කළා.

අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ (12) සහ අද (13) මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.

පෙත්සම්වලට එරෙහිව ගොනු කළ අතුරු පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට ද අධිකරණය නියෝග කළා.

අදාළ පෙත්සම් අද (13) විනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

එමෙන්ම මැතිවරණ කොමිසම් සභාවේ කොමසාරිස්වරයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා.

ඊට අමතරව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නීතීඥ අනුර ලක්සිරි, නීතීඥ ලාල් විජේනායක සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළා.

ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිෂන් සභාව සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.